May 10, 2024

ආණ්ඩුව ඇතුළේ අර්බුදය පුපුරා යයි - ගම්මන්පිල වෙනුවෙන් සජිත් පෙරට එයි

ආණ්ඩුව තෙල්මිල ඉහළ නැංවීමෙන් පසු පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වන්නැයි කියමින් නිකුත් කළ නිවේදනය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබෙන බවයි.

ආණ්ඩුවට හොරෙන් අදාල තෙල්මිල ඉහළ දැමීමේ තීන්දුව එක අමාත්‍යවරයෙක් විසින් හිතුමනාපයට ගත්තේ කොහොමද? එය එසේනම්, කැබිනට් මණ්ඩල සාමූහිකත්වය උල්ලංඝනය කොට මෙවැනි තීන්දුවක් ගන්නාතුරු ආණ්ඩුවේ ජනාධිපති,අගමැති ඇතුලු පාර්ශව කුමක් කළේද? යන්න විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

සාමාන්‍යයෙන් මෙවන් තීන්දු ගනු බලන්නේ කැබිනට් මණඩලය විසින්ද ගනු ලබන තීන්දු ප්‍රකාරව බැවින් අදාල තීන්දුවට එක් අමාත්‍යවරයෙක් චූදිතයෙකු වන්නේ කෙසේද? යන්නත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

එම නිවේදනය පහතින්,

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය

ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල්මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.ඔහු පවසන්නේ තෙල්මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්,ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය.රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබේ. පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලු මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලු රැසක්ම හදාගෙන තිබේ. එමෙන්ම ආණ්ඩුව අබ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබේ.
ඔහුගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගානය. මේ මොහොතේ අපට ආණ්ඩුවෙන් සහ පොදුජන පෙරමුණෙන් අසන්නට ප්‍රශ්න රැසක් තිබේ.


1 ආණ්ඩුවට හොරෙන් අදාල තෙල්මිල ඉහළ දැමීමේ තීන්දුව එක අමාත්‍යවරයෙක් විසින් හිතුමනාපයට ගත්තේ කොහොමද?එය එසේනම්, කැබිනට් මණ්ඩල සාමූහිකත්වය උල්ලංඝනය කොට මෙවැනි තීන්දුවක් ගන්නාතුරු ආණ්ඩුවේ ජනාධිපති,අගමැති ඇතුලු පාර්ශව කුමක් කළේද?

2.සාමාන්‍යයෙන් මෙවන් තීන්දු ගනු බලන්නේ කැබිනට් මණඩලය විසින්ද ගනු ලබන තීන්දු ප්‍රකාරව බැවින් අදාල තීන්දුවට එක් අමාත්‍යවරයෙක් චූදිතයෙකු වන්නේ කෙසේද?

2.ජීවන වියදම් පිළිබඳව කැබිනට් අනුකාරක මණ්ඩලය නියෝජනය කරනුයේ ජනාධිපති,අගමැති ,වෙළද ඇමති, කෘෂිකර්ම ඇමති,ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති,පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති යන පිරිස් ය. ඔවුන් විසින් තෙල්මිල ඉහළ නංවන බවට ඒ්කමතිකව තීන්දුවක් ගත් බව විෂය භාර අමාත්‍යවරයා පැවසූ අතර එය සත්‍යයෙන් තොරද? එසේනම් අදාල කැබිනට් අනුකාරක සභාව හුදු මනංකල්පිතයක් ද?ඇමතිවරයා සිටින්නේ එම පිරිසටත් ඉහඝින් ද?

3. මේ ආණ්ඩුව විසින් මීට පෙර අවස්ථා රැසකදීම ජනතා ද්‍රෝහී තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ගත් අතර ඒ් සියල්ලේදීම දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ පොදුජන පෙරමුණ මෙවර හිටි අඩියේ මෙවන් විහිලුසහගත නිවේදනයක් නිකුත් කිරීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව තුළම පවතින දැඩි අර්බුධකාරී ස්වරූපය නොවේද?


මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් නිකුත් කරනු ලබන මෙවන් නිවේදන තුළින් සිදුවන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත පිළිවෙත ජනතාව ඉදිරියේම නිරුවත් වීම විනා අන් යමක් නොවේ.

තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැති අතර අදාල ගැසට්ටුව ද ‘රිවස්’ කරන්නට ආණ්ඩුවට බලකරන ජනමතයක් දැනටමත් නිර්මාණය වී අවසන් ය.පොහොට්ටුවේ ලේකම්වරයා නිරූපණය කරනුයේ අදාල කටයුත්ත වෙනුවෙන් කසකරුවෙකුගේ භූමිකාව ය.

ආණ්ඩුව මේ වනවිටත් මහජන විශ්වාසය දියකරගෙන ඇති අතර,ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරු වන පොදුජන පෙරමුණට පවා තමන් ආණ්ඩුකරන බව නොතේරී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් තුන්බියට හසුවූ විශාලාවක් බවට මේ රට පත්කොට ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ රට නැවත ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට රට භාර දී ඉල්ලා අස්වීමය.


සජිත් පේමදාස

විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක

Rate this item
(0 votes)