May 16, 2024

ආණ්ඩුවේ ප්‍රබලයින් ආ අවමගුලෙන් කොවිඩ් පොකුරක්? දැනටමත් ආසාදිතයෙක්! (PHOTOS)

නීති රීති අදාළ නෑ

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් පසුගිය දා අභාවප්‍රාප්ත වුණා.

ඇයගේ අවමංගල්‍ය උත්සවයට අති විශාල පිරිසක් සහභාගී වූ බව වාර්තා වෙනවා.

පුද්ගල පරතරය හෝ අවම පිරිසක් සහභාගී කරගැනීම හෝ මෙහි දී දක්නට නොලැබුණු අතර පවතින සංචරණ සීමා හෝ නිරෝදායන නීති රීති ද මෙම අවස්ථාවට වලංගු නොවූ ආකාරයක් ද දක්නට ලැබුණා.

මෙම තත්ත්වයත් සමග මෙම අවමගුල් උත්සවය ආශ්‍රිතව තවත් කොවිඩ් 19 පොකුරක් නිර්මාණය වීමේ ඉඩ කඩ නිර්මාණය වූ බවට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

(ඡායාරූප මෙම සටහන අවසානයේ)

දැනටමත් ආසාදිතයෙක්!

වඩාත් භයානක කරුණ වන්නේ මෙම උත්සවයට සහභාගී වූ හිමිනමක් මේවන විටත් ආසාදිත බවට හඳුණාගැනීමයි.

කොවිඩ් 19 ආසාදිත බවට මෙලෙස හඳුණාගෙන ඇත්තේ සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට යි.

කොවිඩ් 19 ආසාදිත බවට අද (10) දින හඳුණා ගැනීමත් සමග උන්වහන්සේගේ ආශ්‍රිතයන් ද අවදානමක සිටින අතර මෙවන් විශාල පිරිසක් සහභාගී වූ උත්සවයකට ද සහභාගී වූ නිසා එම පිරිස විශාල ගණනක් විය හැකි බවට මත පළ වනවා.

අවමගුල් උත්සවය අතරතුර උන්වහන්සේ සහ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සංවාදයේ නිරතව සිටින අයුරු ඇතුළත් ඡායාරූප ද මේවන විට නිකුත් වී තිබෙනවා.

අගමැති ඇතුළු ප්‍රබලයින් අවමගුලට

සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් වූ ලීලාවති සමරසිංහ මහත්මිය පසුගිය 07 වැනි දා අභාවප්‍රාප්ත වූ අතර ඇගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ අමුත්තන්ගේ පරිශ්‍රය තුළ තැන්පත් කොට තිබුණා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරට ඉහළතම ප්‍රභූ පිරිසක් ද සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඒ අතර වීම විශේෂත්වයක්.

ඊට අමතරව අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ආදී මහත්ම මහත්මීන් මෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ, මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ද එයට එක්ව සිටියා.

එමෙන්ම භික්ෂූන්වහන්සේ විශාළ ගණනක් ද මෙම අවස්ථාවට පැමිණ සිටි බව දක්නට ලැබුණා.

සංචරණ සීමා අස්සේ රිය පෙරහැර සංචරණයේ

සංචරණ සීමා ද නොතකමින් සමරසිංහ මහත්මියගේ දේහය රිය පෙරහැරකින් ඉත්තෑකන්ද ප්‍රදේශයට රැගෙන යාම ද විශේෂ සිදුවීමක් වුණා.

බොරැල්ලෙන් පිටත්වූ රිය පෙරහැර කොට්ටාව අධිවේගී මාර්ගය ඔස්සේ බරවකුඹුක, ඇඹිලිපිටිය, පනාමුර හරහා ඉත්තෑකන්ද ප්‍රදේශයට ලඟා වූ බව පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව මෙම පෙරහැරට සහභාගී වූ විශාල පිරිස පළාත් කිහිපයක් අතර සංචරණය කර ඇති බව ද පැහැදිළි කරුණක්.

තවත් විශේෂ කාරණාවක් වන්නේ මෙම රිය පෙරහැර අතරතුර මාර්ගය දෙපස රැස් වී සිටින ජනතාවට දේහයට ගරු බුහුමන් දැක්වීමටද අවස්ථාව ද සළසා දී තිබූ බවට වාර්තා වීම යි.

විශාල පිරිසක් අවදානමේ

අවමගුලට සහභාගී වූ එක් භික්ෂූන්වහන්සේ නමක් මේවන විටත් කොවිඩ් ආසාදිත බවට හඳුණා ගැනීමත් සමග මෙයට සහභාගී වූ ප්‍රභූ පිරිස්, මහා සංඝරත්නය මෙන්ම අනෙක් පුද්ගලයින් ද අවදානමකට පත් වී නොමැති දැයි සමාජ ජාල ඔස්සේ විවිධ පිරිස් ප්‍රශ්ණ කරමින් සිටිනවා.

මෙය හරහා වෛරසයෙහි පැතිර යාමක් සිදු වුවහොත් එය සීමා සහිත ප්‍රදේශයක පැතිරීමක් නොව විශාල ප්‍රදේශයක පැතිරුණු කොවිඩ් පොකුරක්වනු ඇති බවට යි එම පිරිස් අදහස් පළ කරන්නේ.

මේ අතර සාමාන්‍ය ජනතාවට සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මකවන පසුබිමක සහ ඒවා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මකවන පසුබිමක මෙවන් රිය පෙරහැරවලට සහභාගීවන්නන්ට ක්‍රියාත්මක වන්නේ වෙනම නීතියක් දැයි විමසමින් සමාජ ජාල තුළ විශාල පිරිසක් විරෝධය දක්වා සටහන් තබා තිබෙන අයුරු ද දක්නට ලැබෙනවා.

අදාළ අවමගුල් උත්සවයේ සහ රියපෙරහැරෙහි ඡායාරූප පහතින්...

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 15:32