May 10, 2024

චම්පිකගෙන් සජිත්ට පිළිතුරු

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබා දීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ජාතික පුවත්පතක් හා සමාජ මාධ්‍ය හරහා ඊයේ වාර්තා වුණා.

එම කුමන්ත්‍රණය මෙහෙය වූ බවට චෝදනා එල්ල වී තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද ප්‍රතිචාර දක්වා තිබුණා.

සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, අද (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බව පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එල්ල වන චෝදනාවලට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

“අමුලික අසත්‍ය. සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ නායක කරන්න ඕනේ කියන එක්සත් ජාතික පක්ෂ තීරණය කරලා තියෙන වෙලාවේ මමයි යෝජනා කරලා ඒ ලිපිය අත්සන් කරලා එතුමාව විපක්ෂ නායක කළේ. අපි කිසිම කෙනෙක්ට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ. අපි විවේචනයක් තියෙනවා නම් කෙලින් කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු එනවද නැද්ද කියලා මම දන්නේ නෑ. 2019 එතුමාට කතා කරාට පස්සේ මම එතුමාට කථා කරලා නෑ.“

ඔබ තුමා සිහින දකිනවා කියලා කතාවක් තියෙනවා නේද ?

“මම සිහින දකිනවා මේ රටේ පවුල් වාදයට උරුම වෙලා තියෙන මේ දේශපාලනය මේ රටේ නිපුණතාවය මත හැකියාව තියෙන පරම්පරාවට උරුම කර ගැනීම සඳහා මම සිහින දකිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ රටේ පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක්. ඒ නිසා ඒ ප්‍රභූ පන්තියට විරුද්ධව තමයි අපි මේ කටයුතු කරන්නේ.“

සජිත් ප්‍රේමදාස මහතා එක්ක ඉදලා ඔබතුමාට ඒක කරන්න පුළුවන් වෙයිද?

“මෙහෙමයි අපි අවස්ථානුකූලව ඒ වෙලාවේ තිබුණ හොඳම විකල්පය 2019 දී සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි ඒ හින්දා ඒ කටයුතු කළා. ඉදිරි අනාගතයේ දී සමගි ජන බලවේගය එතුමාගේ හැසිරීම හා අනෙකුත් කාරණා මත තීරණය කරයි.“

ඊළඟපාර වෙනසක් වෙන්නත් පුළුවන් ද?

“අපි දන්නේ නෑ නේ. මට කියන්නත් බෑ වෙන කෙනෙක්ට කියන්නත් බෑ.“ 

Rate this item
(0 votes)