May 02, 2024

සජිත් හා රනිල් ඉදිරියේ වැඩ කරන විදිය ගැන පෙර නිමිති

කොවිඩ් -19 පිටුදැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයෙන් කැඩී පිහිටුවාගත් සමගි ජන බලවේගය නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම පරස්පර මත දෙකක සිටීම කැපී පෙනෙන්නක්.

මේ වන විට කොවිඩ් -19 ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුව වෙමින් සිටින විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ වසංගතය පිටුදැකීම අවශ්‍ය දේශපාලන නායකත්වය දීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් වහා මහා කැඳවිය යුතු බවයි.

එහෙත් එ.ජා.ප නායකයා ඊට පරස්පර මතයක් දරන අතර ඔහු සර්ව පාක්ෂික සමුළු අදහස ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වසංගතය පිටුදැකීමේ වැඩපිළිවෙළ සිය අතට ගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේම පාර්ශවයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන්නේ ප්‍රථමයෙන් ආණ්ඩුව ඊට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසය.

එම වැඩ පිළිවෙල යහපත් නම් ඊට සහයෝගය දීම ගැන සලකා බලන බවයි ජ.වි.පෙ කියන්නේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාව එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් කොට ඇති අතර ඉතා නුදුරේම වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

එවිට සමගි ජන බලවේගය , ජ.වි.පෙ මෙන්ම එ.ජා.ප යද විපක්ෂය නියෝජනය කරමින් කටයුතු කිරීමට නියමිත අතර රට මුහුණදී සිටින බරපතලම අභියෝගය වන කොවිඩ් -19 වසංගතය පිටුදැකීම පිළිබඳව දැනටමත් සමගි ජන බලවේගය සහ එ.ජා.ප ය පරස්පර මත දෙකක සිටීම අනාගතයේ පොදු කාරණාවලදී පක්ෂ දෙක කටයුතු කරන ආකාරය පිළිබඳව පෙර නිමිත්තකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 June 2021 16:35

Related items