May 03, 2024

රනිල්ගේ මන්ත්‍රී දිවුරුමට බාලගිරි? විසඳුම හෙට

රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජූනි 8 හෝ ජූනි 22 යන දින දෙකින් එකක එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

එහෙත් ජූනි 8 වැනිදා දිවුරුම් දීමට සූදානමින් සිටින්නේ නම් එදිනට එම කටයුත්ත කිරීම අවිනිශ්චිත තත්ත්වයක තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

කලින් යොදා ගත් පරිදි ජූනි 8 වැනි දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණද පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ එය තවමත් තහවුරු වී නැහැ.

පාර්ලිමේන්තුව ජූනි 8 වැනි දා පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (7) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වන පාර්ලිමේන්තු ව්‍යාපාරික කමිටුව හෙවත් පක්ෂ නායකයින් විසින් තීරණය කිරීමට නියමිත බවද දැනගන්නට තිබෙනවා.

ජූනි 8 පාර්ලිමේන්තුව නොකැඳවීමට ව්‍යාපාර කමිටුව තීරණයක් ගතහොත් ඒ අනුව මෙම සතිය පුරාම පාර්ලිමේන්තුව නොපැවැත්වීමට ඇති ඉඩකඩ වැඩි බවද වාර්ථා වෙනවා.

රනිල්ට යළි අවස්ථාව 22 අඟහරුවාදා

එසේ වුවොත් යළි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව තිබෙන්නේ ජුනි 22 අඟහරුවාදාය.

8 වැනි දා අවස්ථාව අහිමි වුවහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට ලැබෙන්නේ ජූනි 22 දිනය.

මාස 10ක පමණ කාලයක් පුරප්පාඩුව තිබූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතාව පත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික  අනුමැතිය ලැබී තිබෙනවා.

සමගිය බහුතරයක් පාර්ලිමේන්තු නොඑන ලකුණු

විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජූනි 8 වැනි දින පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව කැමැත්තක් නොදක්වන බවයි සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ජූනි 8 පාර්ලිමේන්තුව කැදවුවහොත් එදිනට සිය පක්ෂයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට නොඑන බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 June 2021 13:44