April 27, 2024

සජිත් - මෛත්‍රීපාල එකඟතාවයට ෆොන්සේකාගෙන් අමුතුම ප්‍රතිචාරයක්

"සරත් ෆොන්සේකා අගමැති කරමු" මැයෙන් වූ ප්‍රචාරක ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල දක්නට ලැබේ.

එය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැනුවත්ව ගෙනයන වැඩ පිළිවෙළක් බව දැනගන්නට තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයක් හෙළිදරව් වීම මත සරත් ෆොන්සේකා මහතා අගමැති ධූරය පිළිබඳ වූ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කොට තිබේ.

සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉදිරි ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයක් තිබෙන බවත් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනපති වුවොත් අග්‍රාමාත්‍ය ධූරයට මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කරනු ඇති බවට සැකයක් සමගි ජන බලවේග අභ්‍යන්තරයේ පැතිරෙමින් යන බවද වාර්තා වේ.

එම සැකය මේ වන විට සමගි ජන බලවේග බිම් මට්ටමේ පාක්ෂිකයා තුළද මතු වෙමින් තිබේ.

සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රිපාල සිරිසේන මහත්තුරුන් ප්‍රසිද්ධියේම එකිනෙකාව අගය කර ගැනීම පිළිබඳවද සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ අප්‍රසාදයක් මතු වෙමින් තිබේ.

මෙම වට පිටාව මත සමගි ජන බලවේගය සභාපතිවරයාද වන සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස රජයක් තුළ අග්‍රාමාත්‍ය ධුරයට සුදුසු එකම පුද්ගලයා තමා බවට ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කොට ඇති අතර මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා දියත් වන්නේ එම වැඩපිළිවෙළය.

සරත් ෆොන්සේකා මහතා යහපාලන ආණ්ඩු සමයේ සිටම මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගැටුම් ඇති කරගත් අතර ප්‍රසිද්ධියේම හිටපු ජනපතිවරයාව එදා මෙන් ම අදද විවේචනය කරයි.

Rate this item
(7 votes)
Last modified on Thursday, 03 June 2021 16:09