April 28, 2024

මන්ත‍්‍රී පොකුරක්? සජිත්ගේ ආශ්‍රිතයන් සොයයි

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වන්නැයි කොරෝනා ආසාදිතවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිතයින් වූ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීම පෙරේදා(22) ආරම්භ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගමන් ගත් ස්ථාන පිළිබඳවද වේත්‍රධාරීවරයාගේ අවධානය යොමු වී ඇත.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව කටයුතු කරන විපක්ෂ නායකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තුව අසල පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ඔහුට වයිරසය ආසාදනය වූවාදැයි සැකයක් මතුව ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට පෙරේදා දිනයේම යොමු වී ඇතැයි වාර්තා වේ. 

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබීය.

මේ අතර කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 30, පිහිටි විපක්ෂනායක කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සියළු දෙනාගේ පීසීආර් පරීක්ෂන හෙට (25) දින සිදු කිරීමට නියමිතය.

එම කාර්යාලයේ පවත්වනු ලබන සියළුම මාධ්‍ය හමු තාවකාලිකව අත්හිටුවීමට ද එහි ප්‍රධානීන් තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොව්ඩ් ආසාදිතවීම හේතුවෙන් මෙම තීරණ ගෙන ඇත.

Rate this item
(1 Vote)