May 12, 2024

සෞඛ්‍ය ලොක්කෝ ජනපති නියෝගය මගහරියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ මරණ ප්‍රමාණය වැඩි වීමට හේතුව, ආසාදිතයින් නිවෙස් තුළ තබා සත්කාර කිරීමේ සේවාවේ අසාර්ථකත්වය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ හරහා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි වේලාවට නොලැබී ඇති බවට යි ඔවුන් චෝදනා නගන්නේ.

කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්න වී රෝගීන් නිවෙස් තුළ, මහමග සහ රෝහල්වලට ඇතුළු කිරීමෙන් පසු සුළු කාලයකින් ද මියගොස් ඇති බවත් එයට හේතුව වී ඇත්තේ ද ඉහත කී කාරණාව බවත් ඔවුන් පවසනවා.

ආසාදිතයින් නිවෙස් තුළ තබා සත්කාර කිරීමේ සේවාව හේතුවෙන් කලට වේලාවට ප්‍රතිකාර නොලැබීම නිසා  රෝහල් ධාරිතාවය ඉහළ යාම, සංකූලතා පවතින රෝගීන් මගහැරීයාම වැනි ගැටළු රැසක් ද මතු වී ඇති බව යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කරන්නේ.

 

මෙම කරුණු මත අදාළ වැඩපිළිවෙල වහාම ඉවත් කරන ලෙස සිය සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු අනාවරණ කළා.

සිය සංගමයේ ඉල්ලීම අනුව ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකසන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කර ඇති නමුත්, එම නියෝගයෙන් සති දෙකකට පසුවත් ජනාධිපතිවරයාගේ නියෝග ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බව ද වෛද්‍ය ආනන්ද මහතා පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රෝගීන් මහමග මිය යද්දී අමාත්‍යාංශය කඹ අදිමින් සිටින බව යි.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ නිවෙස් තුළ සිටින රෝගීන් සහ එහි නිවැසියන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් මෙන්ම රෝගීන්ට ප‍්‍රතිකාර කළ හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් මගින් සකස්කර වෛද්‍යවරුන් වෙත ලබාදිය යුතු බව යි.

 

එසේම PCR පරීක්ෂණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම මත හඳුණා නොගත් ආසාදිතයින් බොහෝ ප්‍රමාණයක් සමාජය තුළ මේවන විටත් සැරිසරමින් සිටින බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 May 2021 09:32

Related items