May 16, 2024

වරාය නගරය ආශිර්වාදයක්, විදේශ ආයෝජකයන් දිරිගැන්වීමක් - අගමැති Featured

අද (19) පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී අද විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පතට අදාළ වරාය නගරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

ඒ වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි

ලෝකයේ බොහෝ රටවල් විදේශ ආයෝජකයන් ඩැහැගැනීමට බලාසිටින මොහොතක වරාය නගර ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයට ලැබුණු විශාල ශක්තියක් බව සිය විශේෂ ප්‍රකාශය කරමින් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා විදේශ ආයෝජකයන් රට තුළට ගෙන්වා ගැනීම සඳහා එක් ස්ථානයකින් (Single Window) ඊට අදාළ සියලු නීති හා වාණිජ අරමුණු ඉටුකර දීමේ වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවද සඳහන් කරයි.

එම වැඩ පිළිවෙල සෑදීම සිය රජයේ වගකීමක් බවත් සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ඒ හරහා ඉදිරි වසර 5 තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක ( රු. බිලියන 3000) පමණ විදේශ ආයෝජනයන් රට තුළට ගෙන ඒමට හැකි බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී ඇති බව සඳහන් කරයි.

ඒ සඳහා බදු සහන හා වෙනත් දිරිගැන්වීම් විදේශ ආයෝජකයන්ට ලබා දිය යුතු බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා වරාය නගර ව්‍යාපෘතියේ මුල් වසර 5තුළ පුද්ගලයන් ලක්ෂ 2කට පමණ මුදල් ඉපයීමේ අවස්ථා ලැබෙන බවද පෙන්වා දෙයි.

එම කාලය තුළ නව රැකියා අවස්ථාවන් 83000ක් නිර්මාණය වන බවද ආර්ථික විශේෂඥයින් ගණනය කොට තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ශක්තිමත් කොමිසමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 11:54