May 13, 2024

වෛද්‍යවරුන්ගෙන් දිස්ත්‍රික්ක 8කට රතු එළියක් - ඉදිරි සති කිහිපය දැඩි අවදානමේ

මෙරට දිස්ත්‍රික්ක අටකට දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙම තත්ත්වය පෙන්නුම් කරන බවයි ඔවුන් පවසන්නේ.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර දිසස්ත්‍රික්කවල දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන බවත්, රත්නපුර දිස්ත්‍රික්කයේ දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දුන්නා.

මෙවන් තත්ත්වයක් මත මෙම දිස්ත්‍රික්ක තුළ දැඩි අවදානමක් පවතින බවයි ඔහු සඳහන් කළේ. 

මේ අතර ඉදිරි කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් සිදුවෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කොට සිටියා.

වසංගතයේ උච්චතම අවස්ථාවක මේවන විටත් රට පවතින බව පෙන්වා දෙන සෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව මේවන විට දෛනිකව වාර්තාවන ප්‍රමාණයට වඩා ආසාදිතයින් ගණනක ඉදිරි සති කිහිපය තුළ දෛනිකව වාර්තා වනු ඇති බවට බලාපොරොත්තු විය යුතු බවයි.

සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබෙන්නට තවත් සති කිහිපයක් ගතවනු ඇති බව ද ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ඔවුන් මේ වන විට උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාවය ඉක්මවා ගියහොත් ඉදිරියේ දී දැඩි අර්බුදකාරී තත්වයක් රට තුළ නිර්මාණය විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම මේ වන විට සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් අතර ද වසංගතය ව්‍යාප්තවීම සිදුවෙමින් පවතින බව අනාවරණය කළ ඔහු ප්‍රකාශ කළේ අසාමාන්‍ය ලෙස රෝගීන් වැඩිවීමට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩාවට පත් කරවීමට එය ද හේතු වී ඇති බවයි.

එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමේ අවස්ථාව සැලසීමට නම් එන්නත්කරණයේ දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මූලිකත්වය දිය යුතු බවත් එලෙස සිදුකරන ලෙසට තම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.

තව ද සෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා අවධාරණය කළේ ජනතා සහයෝගය නොමැතිව මෙම වසංගතය පාලනය කළ නොහැකි බවට යි.

විශේෂයෙන් මෙම වසංගතය වැඩි වශයෙන් පැතිරයන දිස්ත්‍රික්කවල ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 09:54