May 08, 2024

ඉතාලි සංචාරය නිමවා ජනපති දිවයිනට පා තබයි

ඉතාලියේ හා වතිකානයේ සාර්ථක තෙදින චාරිකාව නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (05) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

ශුද්ධාසනයේ ආරාධනයෙන් වතිකානය බලා පිටත් වූ ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා (03) ශුද්ධෝත්තම පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවේ ය. ලබන ජනවාරියේ සැලසුම් කර ඇති පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා චාරිකාව සඳහා නිල ඇරයුම උන් වහන්සේට පිළිගැන්වීම මේ හමුවේ දී සිදු විය.

පාප් වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දී ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව අත් කර ගෙන ඇති ප‍්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා විස්තර කර ඇත. ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය විස්තර කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ පාප් වහන්සේ, ශ‍්‍රී ලංකාවේ චාරිකා කිරීමට මහත් ඕනෑකමකින් පසුවන බව ද සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාප් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් සහ අගමැති අතිඋතුම් පියෙත්ත්‍රෝ පැරොලින් කාදිනල්තුමා ද හමු විය.

සිය චාරිකාව අතරතුර දී ජනාධිපතිවරයා රෝමයේ හා මිලානෝ හි වෙසෙන ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව මෙන්ම, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය වැනි යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ ද හමු විය.

ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යුරෝපා සංගම් ශාඛාවේ නිල වෙබ් අඩවිය ද දියත් කළ අතර, දකුණු ඉතාලියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛාවේ සාමාජිකයන් ද හමු වී සාකච්ඡා පැවැත්වීය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 October 2014 12:51