May 12, 2024

(EXCLUSIVE) ප්‍රශ්නය විසඳා දෙන්න - පක්ෂ 12 විකල්ප පිල අගමැතිගෙන් ඉල්ලීමක් කරයි

පිට පිටම දෙවන වරටත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ පක්ෂ 12 විකල්ප කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා වෙනමම මුණගැසී සාකච්ඡා කොට තිබේ.

එහිදී එම කණ්ඩායම වෙනුවෙන් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීම සඳහා පැමිණෙන පිරිස සම්බන්ධයෙන් පැනනැගී ඇති ප්‍රශ්නය විසඳන මෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

එම ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණ බව එම රැස්වීමට සහභාගි වූ යුතුකම සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා මෙන්ම අපේ ජන බල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඒෂියන් මිරර් කළ විමසුමකදී සඳහන් කරන ලදී.

පොදුජන පෙරමුන සන්ධානයේ සිටින්නේ පක්ෂ 14 ක් වුවත් අදාල රැස්වීම සඳහා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් පමණක් නියෝජිතයන් 50කට අධික සංඛ්‍යාවක් සහභාගී කරවීමට විරෝධය පෑම උදෙසා පක්ෂ 12 විකල්ප කණ්ඩායම පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීමට තීරණය කොට තිබේ.

ප්‍රථමයෙන් පැවති පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීම සඳහා පොදුජන පෙරමුණ පාර්ශවයේ නියෝජිතයින් 51 දෙනෙකු නම්කොට තිබුණු අතර ඒ බව නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ කාර්යාලයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට දැනගන්නට ලැබුණු අතර ඒ අවස්ථාවේම ඒ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට දන්වා තිබුණි.

බත්තරමුල්ල නෙළුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන්නකි.

මෙසේ අදාල රැස්වීමට සම්බන්ධයක් නොමැති විශාල පිරිසක් සහභාගි කරවීමෙන් තම පාර්ශවය හා ඔවුන් අතර අනවශ්‍ය ගැටුමක් ඇති වන බව පක්ෂ 12 විකල්ප කණ්ඩායම මේ වන විටත් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

පක්ෂ 12 විකල්ප කණ්ඩායමේ ඉල්ලීම වන්නේ පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීමට ඊට අදාළ පක්ෂ වල පක්ෂවල නායකයින් පමණක් කැඳවන ලෙසය.

පොදුජන පෙරමුන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ මීලඟ රැස්වීම එළඹෙන 11 දාට අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 May 2021 09:39

Related items