May 02, 2024

(EXCLUSIVE) ඔය පොලිස් ස්ථානාධිපතිට එරෙහි නීති සටන මම දිගටම කරනවා - මෛත්‍රී

බලය අයුතු ලෙස පාවිච්චි කරමින් සිය පුත්‍රයාට අමානුෂික ලෙස පහරදුන් පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති ලින්ටන් සිල්වාව අත්අඩංගුවට ගන්නා ලෙස තමන් නීතිපතිවරයාගෙන් අද හෝ හෙට (29 හෝ 30) ඉල්ලීමක් කරන බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ඒෂියන් මිරර් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන ලදී.

නීතිපතිවරයාටද වැඩ අධික වීම මත සිය පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් වූ සිද්ධියේ කටයුතුද මන්දගාමීව සිදුවන බව ගුණරත්න මහතා පෙන්වා දෙයි.

සිය පුත්‍රයාට පහරදුන් ලින්ටන් සිල්වාට පනවා තිබූ වැඩ තහනම කිරීම ඉවත්කොට ඔහු යළි සේවයේ පිහිටුවා ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද ප්‍රකාශ කරන ගුණරත්න මහතා සිය පුත්‍රයාට පහරදීමට එරෙහිව ලින්ටන් සිල්වා ඇතුළු පිරිසට එරෙහිව සිවිල් නඩුවක්ද ගොනු කොට තිබෙන බව අවධාරණය කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කළ හැකි උපරිම දේ තමා කරන බවත් ඒ තම පුත්‍රයා ගැන පමණක් නොව මෙසේ පොලිසියෙන් අසාධාරණයට ලක්වන අන් අයටද යහපතක් කිරිමේ අරමුණින් බව ද ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

නීති ශිෂ්‍යයකු වන මෛත්‍රී ගුණරත්න මහතාගේ බාල පුත්‍රයාට අත්අඩංගුවේ පසු වෙන සේවාදායකයෙකු බැලීමට ගිය අවස්ථාවේ එවකට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කිරීම යන චෝදනාව යටතේ ලින්ටන් සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලදී.

ලින්ටන් සිල්වා ස්ථානාධිපතිවරයා යටතේ පෑලියගොඩ පොලිසිය වධකාගාරයක් බවට පරිවර්තනය කොට තිබෙන බවට ගුණරත්න මහතා කරුණු හෙළිදරව් කරන ලදී.

Rate this item
(0 votes)