May 04, 2024

අපේක්ෂකයින් තුනේ පොහොට්ටු යෝජනාව ශ්‍රීලනිපයත් ප්‍රතික්ෂේප කරයි

එක් කොට්ඨාසයකට අපේක්ෂකයින් තිදෙනකු එක් පක්ෂයකින් ඉදිරිපත් කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව එහි මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා අද (27) අවධාරණය කරයි.

එමෙන්ම ප්‍රසාද මන්ත්‍රී ආසන ලබාදෙන ක්‍රමයටද ශ්‍රීලනිපය විරුද්ධව බව මහ ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි.

සෑම මැතිවරණ කොට්ඨාශයකටම මෙන්ම සෑම දිස්ත්‍රික්කයකටම ශ්‍රීලනිප සංවිධායකවරුන් සිටින බව පෙන්වා දෙන මහ ලේකම්වරයා ඔවුන්ද ඡන්දය ඉල්ලිය යුතු බව මතක් කර දෙයි.

එසේ ඡන්දය ඉල්ලීමේදී එක් කොට්ඨාශයකට එක් පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනෙක් දැමීමෙන් ඔවුන්ට අසාධාරණයක් වෙනවා නම් ඊට එකඟ විය නොහැකි බවද මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

ශ්‍රීලනිපයට කිසිම ආකාරයකින් අවාසි සහගත තත්ත්වයක් ඇතිවන වැඩපිළිවෙලකට යන්නේ නැති බව මහලේකම්වරයා තහවුරු කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය පැහැදිලි ස්ථාවරයක සිටින බව පෙන්වා දෙන මහලේකම්වරයා ඉතා ළඟදීම ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරන බවද සදහන් කරයි.

ශ්‍රීලනිපය ශක්තිමත් කළ හැක්කේ පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ද ශක්තිමත් කළහොත් පමණක් බැවින් ඒ සදහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ශ්‍රීලනිපය සූදානම් බව මහ ලේකම්වරයා විශේෂයෙන්ම අවධාරණය කරයි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කර තිබෙන එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා වූ කෙටුම්පතට මෙම යෝජනාව ඇතුළත් කොට තිබේ.

අදාළ යෝජනාව පිටුපස මැතිවරණ සම්බන්ධයෙන් විශේෂඥයකු වන පොදුජන පෙරමුණේ ප්‍රබලයා සිටින බවට මතයක්ද තිබේ.

පසුගියදා අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදාළ යෝජනාව පොදුජන පෙරමුණ විසින් යෝජනා සම්මත කරගන්නා ලදී.

පොදුජන පෙරමුණ නියෝජනය කරන සන්ධාන ගත පක්ෂ සියල්ලම පාහේ එක් කොට්ඨාශයකට එක් පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනකු දැමීමේ පොදුජන පෙරමුණ යෝජනාව මේ වන විටත් ප්‍රතික්ෂේප කොට තිබේ.

එක් කොට්ඨාශයකට එක් පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනකු ඉදිරිපත් කිරීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී බැවින් තමා එම ක්‍රමයට කැමති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මීට පෙර ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 April 2021 16:35

Related items