May 05, 2024

සබීතා දුකින්: සබිතාපාය යළි භාර දීලා - ආණ්ඩුවට කෝටි 7ක් ගෙවන්න වෙලා

යහපාලන ආණ්ඩු සමයේ මතභේදාත්මක සිදුවීමක් වූ ජනප්‍රිය නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයාට අයත් රාජගිරිය ඩී.ඒ.පී ජයසිංහ ගොඩනැගිල්ල යළිත් ගොඩනැගිලි හිමිකරුවාට භාර දී තිබේ.

ඒ නියමිත වසර 5ක කුලී කාලය අවසන් වීම හේතු කොටගෙනය.

රු. ලක්ෂ 226 ක මාසික කුලියට කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලියට ගැනීමත් එහි අත්තිකාරම් මුදල් මෙන්ම එකවර වසර දෙකක කුලී මුදල් ගෙවීමත් හේතු කොටගෙන "සබීතාපාය" ගොඩනැගිල්ලේ සිද්ධිය ලෙස මෙම සිදුවීම ප්‍රසිද්ධියට පත්වූ අතර එවකට කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ දුමින්ද දිසානායක මහතාද මේ සිද්ධිය හේතුකොටගෙන බරපතළ විවේචනයට ලක් විය.

අදාළ ගොඩනැගිල්ල මේ වන විට ගොඩනැගිලි හිමිකරුට භාර දී තිබෙන අතර පහුගිය වසර පහ සඳහා එහි කුලිය ලෙස රු.කෝටි 132 කට (රු. ලක්ෂ 13200) වඩා මුදලක් ගෙවා ඇති බව වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.බී රෝහණ පුෂ්පකුමාර මහතා හෙළිදරව් කර තිබේ.

එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට ආරක්ෂක තැන්පතුව ලෙස භාර දුන් රුපියල් කෝටි 7 ක රජයේ මුදල යළිත් ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරගෙන යන බවද ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කොට තිබේ.

ගොඩනැගිල්ලට යම් අලාභයක් සිදුවී ඇත්නම් එය අළුත් වැඩියා කිරිම සදහා යන මුදල රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවකට අනුව අඩු කිරීමට කටයුතු සිදුකරමින් යන බව පෙන්වා දෙන ලේකම්වරයා අදාල මුදල යළි ලබාදීම ගොඩනැගිලි හිමිකරු ප්‍රතික්ෂේප කළහොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු කටයුතු සඳහා රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටීම නිසා කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා වෙනත් ගොඩනැගිල්ලක් ලබා ගැනීමට තමාට සිදු වූ බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඒ අවස්ථාවේ තමාට එරෙහිව එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ප්‍රකාශ කරන ලදී.

රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු කටයුතු සඳහා පවරා ගත්තද කිසි දිනෙක එහි පාර්ලිමේන්තු කටයුත්තක් සිදු නොවූ අතර එහි තිබූ කෘෂිකර්ම අමාත්‍යංශය ඩී.ඒ.පී ජයසිංහ ගොඩනැගිල්ලට ගෙනයාම මත මහජන මුදල් අපතේ යාමක් ලෙස සමාජයේ මතවාදයක්ද ගොඩනැගී තිබුණි.

එදා ඒකාබද්ධ විපක්ෂය ලෙස සිටි වර්තමාන පොදුජන පෙරමුණ ආණ්ඩුවේ මහජන නියෝජිතයින්ද මෙම සිද්ධිය මුල් කොටගෙන යහපාලන ආණ්ඩුව මෙන්ම දුමින්ද දිසානායක අමාත්‍යවරයාවද එදා විවේචනය කරන ලදී.

එහෙත් අද දුමින්ද දිසානායක මහතා වත්මන් පොදුජන පෙරමුණ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 April 2021 11:53

Related items