April 28, 2024

අයථා ගනුදෙනුව ගැන ඇමති නාමල් කියන්නේ බොරු - තිලංගගෙන් දැඩි ප්‍රතිචාර

2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් 1,87,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 37) මුදලක් විදේශීය ගිනුමකට නීති විරෝධීව බැර කිරීම තමා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපතිවරයා සිටිද්දී සිදු වූ බවට නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බව තිලංග සුමතිපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය හුදෙක්ම දේශපාලන වශයෙන් මෙන්ම පෞද්ගලිකවම තමන් කෙරෙහි තිබෙන වෛරයකට කළ එකක් බවද සුමතිපාල මහතා එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කොට තිබෙන්නේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) වාර්තාවට අනුව ඉහත සඳහන් අයථා මුදල් ගනුදෙනුව සිදුව තිබෙන්නේ තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේදී බවය.

සිය නිවේදනය හරහා ඊට පිලිතුරු දෙන සුමතිපාල මහතා සඳහන් කරන්නේ රාජපක්ෂ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත් එම මුදල් ගනුදෙනු හුවමාරුව සිදුවන අවස්ථාවේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි ෆයිසර් මුස්තාෆා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු කටයුතු සොයා බැලීමට නිසි බලධරයෙකු පත්කළ තිබූ බවත් අදාළ ගනුදෙනුව සිදුව තිබෙන්නේ නිසි බලධාරියාගේ පාලනය යටතේ බවත්ය.

තිලංග සුමතිපාල මහතා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට දැක්වූ මෙම ප්‍රතිචාරය සන්ඩේ ටයිම්ස් පුවත්පතේ විස්තරාත්මකව පළවී තිබේ.

මෙම අයථා මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වමින් සිටී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 April 2021 11:46