May 13, 2024

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කතාව හරියටම කිව්වේ අපේ දෙන්නා - විපක්ෂ නායක

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නිවැරදිම තොරතුරු රටට හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ගෞරවයකට ලක්ව තිබේ.

ඉකුත් සතියේ පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතා මෙම ඇගයීම කොට තිබේ.

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කතාව රටට කිව්වේ හරින් හා මනුෂ බවත් ඔවුන් දෙදෙනා ඉතා තර්කානුකූලව මෙන්ම නිවැරදිව කරුණු ඉදිරිපත් කරන විට ආණ්ඩුව වියරු වැටුණු බවත් රට වෙනුවෙන් ඔවුන් දෙපල කළ එම කාර්ය භාරයට ස්තූතිය පළකරන බවත් සමගි ජන බලවේගයේද නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කොට තිබේ.

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී දේශපාලන පළිගැනීම් පිළිබඳව පැවැති විවාදයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමේ අවසරය මත හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳ විශේෂ තොරතුරු රැසක් ඉදිරිපත් කළ අතර ඊට ආණ්ඩු පක්ෂයේ බරපතළ විරෝධය ද එල්ල විය.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් පසු එදිනම මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළ කරුණු යළිත් සිහිපත් කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව කළ මෙම ආන්දෝලනාත්මක එළිදරව් කිරීම හේතුවෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයාව කැඳවා තිබුණි.

එහෙත් ඊට සහභාගී නොවූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන වන විට රෝහල් ගතව සිටී.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව් මත ඔහුව අත්අඩංගුවට ගැනීමේ අරමුණින් බවට සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට චෝදනා කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 April 2021 13:46