May 08, 2024

පරණ යාලුවො දෙන්නා දොරකඩ ළඟ ගහ ගත්තේ ඇයි?

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් සභා ගැබින් එපිට ගුටිබැට හුවමාරුවක නිරත වූ බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරයි.

දින කිහිපයක් පුරාම පාර්ලිමේන්තු සභා ගැබ තුළ හරින් ප්‍රනාන්දු සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් වචන හුවමාරු කරගත් අතර එහිදී අසභ්‍ය වචන මෙන්ම පෞද්ගලික කාරණාද දෙපාර්ශවයෙන්ම ප්‍රකාශයට පත් විය.

ඊයේ (21) පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිති කොටගෙන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කළු පැලැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් දැක්වූ අතර එහිදී යළිත් වතාවක් හරිම ප්‍රනාන්දු හා තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් වාග් හුවමාරුවක පැටලී තිබේ.

පසුව මෙම වචන හුවමාරුව පාර්ලිමේන්තු සභා ගැබින් එපිට එනම් සභා ගැබට ඇතුල් වන දොරටුව ආසන්නයේදී මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ.

හරින් ප්‍රනාන්දු හා තිස්ස කුට්ටිආරච්චි යන දෙදෙනාම කලකට පෙර එකම දේශපාලන කදවුර එනම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එකම දිස්ත්‍රික්කය එනම් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඉතා කිට්ටු මිත්‍රයින් දෙදෙනෙකු බවත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ගෝලයෙකු ලෙස කලක් හැඳින්වුණු බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට පියවරක් ගන්නා ලෙස අද (22)ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලීමක්ද කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 April 2021 11:17

Related items