May 17, 2024

මම ගියේ එන්න කියපු වෙලාවට : යනකොට රනිලුත් එතන

හිටපු මුදල් අමාත්‍යවරයකු වන රොනී ද මැල් මහතාගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවති උත්සවයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කලක් එජාපයේ මහ ලේකම්ව සිටි තිස්ස අත්තනායක යන මහත්වරුන් එකම අවස්ථාවේ සහභාගි වීම බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ.

තිස්ස අත්තනායක මහතා මන්ත්‍රී ධූරය දරන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම උපන් දිනයට මේ දෙදෙනාම නොමැති වෙනම අවස්ථාවක සහභාගි වීමද බොහෝ දෙනකුගේ කතාබහට ලක්ව තිබේ.

දෙදෙනා අතර යළි දේශපාලන ගනුදෙනුවක් තිබෙනවාදැයි යන කසුකුසුවක් ද සමාජගත වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ තමාට උදෑසන 9.30 ට රොනී ද මැල් මහතාගේ 96 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සව අවස්ථාවට සහභාගී වන ලෙස දැනුම් දී තිබුනු බවත් තමා ඒ නියමිත වේලාවටම මේ ස්ථානයට ගිය බවත් තමා එතැනට යද්දී රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අවස්ථාවේ එතැන සිටි බවත්ය.

සජිත් ප්‍රේමදාස මහතාද ප්‍රමාද වී ඒ ස්ථානයට පැමිනෙන බව තමන්ට දැනුම් දුන් බවත් තමා යොදා ගත් වෙනත් කටයුත්තක් තිබූ නිසා ඔහු එතැනට ඒමට පෙර තමාට එම ස්ථානයෙන් නික්ම යාමට සිදු වූ බවද අත්තනායක මහතා සදහන් කරයි.

දේශපාලනඥයින් ලෙස එම අවස්ථාවට ආරාධනා කර තිබුනේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට සහ තමන්ට පමණක් බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා තමන් සාමාන්‍යයෙන් මසකට දෙවතාවක්වත් රොනී ද මැල් මහතාගේ දුක සැප බැලීමට යන බවද සදහන් කරයි.

කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි රොනී ද මැල් මහතාගේ නිවසේ දී මෙම ජන්ම දින උත්සවය මීට ටික දිනකට පෙර පවත්වන ලදී.

Rate this item
(0 votes)