May 17, 2024

රටම බංකොලොත් කළ රනිල් සිරිකොතත් බංකොලොත් කරයි - සේවකයන්ට ගිය මාසේ පඩිත් නැහැ: දීමනාත් නැහැ

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන "සිරිකොත" සේවය කරන සේවක සේවිකාවන්ගේ පසුගිය මාර්තු මස වැටුප මෙන්ම සිංහල - හින්දු අලුත් අවුරුදු පාරිතෝෂිත දීමනාව මේ වනතුරු ගෙවා නොමැති බව වාර්තා වේ.

වැටුප් ලබන සේවක සේවිකාවන් 45 දෙනෙකු සිරිකොත සේවය කරන අතර ඒ සඳහා මාසිකව වැය වන්නේ රු. ලක්ෂ 14 1/2 බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

2020 වර්ෂයේද කොවිඩ් වසංගතය හේතුවෙන් සේවක සේවිකාවන්ට පාරිතෝෂිත දීමනාවක් ලබා දී නොමැති අතර එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ එවැන්නක් සිදුව තිබෙන්නේ පළමුවෙනි වතාවට බවට එය වාර්තා විය.

ඒ අවස්ථාවේ පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළේ අකිල විරාජ් කාරියවසම් මහතා වන අතර අද පාලිත රංගේ බණ්ඩාර මහතා පක්ෂ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

මෙම ගැටළුව ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන යන පක්ෂයේ ප්‍රධාන ධුර දරන මහත්වරුන්ව දැනුවත් කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරන අතර ඔවුන්ද ඒ වගකීම එකිනෙකාට පවරමින් මගහරින බවද වාර්තා වේ.

"සිරිකොත" ප්‍රධාන පරිපාලක නිලධාරියා ලෙස ශමල් සෙනරත් මහතා කටයුතු කරන අතර දැනගන්නට තිබෙන ආකාරයට පක්ෂයේ ගණකාධිකාරී එම්.ගෆූර් මහතා නිවාඩු ගොස් තිබෙන බවත් ඔහු යළි පැමිණෙන්නේ 5 වැනි සදුදා දින බවත් සේවක සේවිකාවන්ට අදාළ පසුගිය මස වැටුප් ගෙවීම සහ අලුත් අවුරුදු පාරිතෝෂිත දීමනා ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවන්නේ ඉන් පසුව බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 16:09