May 13, 2024

සජිත් කියන පුළුල් සන්ධානයට එජාපය හා ජවිපෙ පොල්ල තියන ලකුණු!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනැගීමට බලාපොරොත්තු වන පුළුල් සන්ධානය "ලත් තැනම ලොප් වන" වන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂද එක්කොට ගෙන ගොඩනැගීමට බලාපොරොත්තු වූ එම සන්ධානයට සම්බන්ධ වීමට එජාපයේ මෙන්ම ජවිපෙ අදහසක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශ්වයක් සමඟ සන්ධානගත නොවී ස්වාධීන දේශපාලන ගමනක් යාමට තීරණය කොට තිබෙන බවද එම පක්ෂ ආරංචි මාර්ග කරයි.

අන්ත දක්ෂිනාංශික සහ මැද මාවතේ පක්ෂ සමඟ සන්ධානගතව දේශපාලනය කිරීම ජවිපෙ දේශපාලන පදනම මෙන්ම ඡන්ද පදනම පිරිහීමට හේතු වූ බව එම පක්ෂයේ පොදු මතය වේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ නොකළ ද එජාපය දෙකඩ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා පිළිබඳව දැඩි වෛරයකින් පසුවන බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඡන්ද පදනම දෙදරා ගියද ඒ අසීරු අවස්ථාවේ එජාපය තුළ තවමත් රැඳී සිටින ජ්‍යෙෂ්ඨයන්ද සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධානගත ගමනකට කැමැත්තක් නොදක්වන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු ප්‍රධාන නිලතල දරන්නන්ද සජිත් ප්‍රේමදාස මහතා මුල් වූ සන්ධානයකට සම්බන්ධ වීම පිළිබඳව ප්‍රසිද්ධියේම සිය විරෝධය දක්වා තිබේ.

එජාපයේ ප්‍රධානින්ගේ මතය වී තිබෙන්නේ එජාපය මුල්වී ගොඩනගන පුළුල් සන්ධානයකට කැමතිනම් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට එකතු විය හැකි බවය.

සජිත් ප්‍රේමදාස මහතා තමන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් ආණ්ඩු විරෝධී පුළුල් සන්ධානයක් ගොඩනඟන බවත් ඊට සම්බන්ධ වන්නන් දුටුවිට පුදුමයට පත්විය හැකි බවට ප්‍රකාශයක්ද මීට ටික දිනකට පෙර කරන ලදී.

ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රකාශයට ඔහු මේ වන විටත් නායකත්වය දෙන සමගි ජන බලවේගයේ ඇතැම් පක්ෂ නායකයින්ගේද අප්‍රසාදය පළවී ඇති අතර දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළකොට තිබේ.

මනෝ ගනේෂන් මහතා පක්ෂය ජ්‍යෙෂ්ඨයන්ගෙන් ප්‍රසිද්ධියේම ප්‍රශ්න කොට තිබෙන්නේ "අපි නොදන්නා මේ සන්ධානය මොකක්ද"කියාය.

Rate this item
(5 votes)
Last modified on Sunday, 28 March 2021 09:15