May 14, 2024

ආණ්ඩු පක්ෂයේ 4 වන පේලියෙන් තවත් කළකිරීමක් - මෙවර පොහොට්ටුවේ 50 වැනි සාමාජිකයාගෙන්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 4 වන පේළියේ සිටින තවත් ජ්‍යෙෂ්ඨයෙක් එළිපිටම ආණ්ඩුවට සිය විරෝධය එල්ල කරමින් සිටී.

ඒ තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව නිසි සැලකීමක් ආණ්ඩු පාර්ශවයෙන් සිදු නොවීම හේතු කොටගෙනය.

තමන් නියෝජනය කරන ආණ්ඩුව අසාර්ථක වී ඇති බවත් ජනතාව ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති බවත් මෙම ජ්‍යෙෂ්ඨයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ සිය ඉවසීම ඉක්මවා ගිය අවස්ථාවේදීය.

නියෝජ්‍ය කථානායක ධූරය ද දැරු මෙම ජ්‍යෙෂ්ඨයා ඉන් පසුව ප්‍රධාන කැබිනට් ඇමතිධුර රැසක් දරා ඇති අතර මෙවර ඔහුව සාමාන්‍ය මන්ත්‍රීධූරයට පමණක් සීමා කොට තිබේ.

පොදුජන පෙරමුණේ 50 වැනි සාමාජිකයා ලෙස තමන්ව හඳුන්වන මෙම ජ්‍යෙෂ්ඨයා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා වන අතර ඔහුද යහපාලන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දැරීම ඔහුට වත්මන් ආණ්ඩුව තුළ අමාත්‍යධුරයක් හෝ රාජ්‍ය අමාත්‍යධූරයක් නොලැබීමට හේතු වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ 4 වන පේළියේ සිටින තවත් ජේෂ්ඨයන් 4 දෙනෙකු වන ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ හා අනුර ප්‍රියදර්ශන යාපා යන ජේෂ්ඨ මන්ත්‍රීවරුන් 4 දෙනාද මන්ත්‍රීධූර වලට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බව ප්‍රසිද්ධ කරුණකි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 18 March 2021 17:27

Related items