May 12, 2024

සීනි හෙලිදරව්ව ගැන කවුරුත් ලකුණු දාගන්න ඕන නෑ:මේක සාමූහික වැඩක් - විපක්ෂ නායක

කෝටි 1595 ක පමණ පාඩුවක් ආණ්ඩුවට සිදු කළ සීනි වංචාව රටට හෙළි කිරීමේ ගෞරවය බෙදා ගැනීමේ සටනක් විපක්ෂයේ පක්ෂ දෙකක් තුළ ඇතිවී තිබේ.

සීනි වංචාව මුලින්ම රටට හෙළිදරව් කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බවත් ඔහු එම එළිදරව්ව කරන ලද්දේ පාර්ලිමේන්තුවේ දී බවත් ජනතා විමුක්ති පෙරමුණේ මතය වී තිබේ.

එහෙත් පසුගියදා රැස්වූ සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

සීනි වංචාවේ ඇත්ත රටට මුලින්ම හෙළි කළේ තමන් බව කියන කෙනෙක් ඉන්න බව අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා එහිදී කිව්වේ ඒ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බව ඔහුගේ නම නොකියා හඳුන්වමිනි.

ඊට පිළිතුරු දෙමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 10කට වඩා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළිදරව් කළ බවය.

පක්ෂයේ මහලේකම් වන රංජිත් මද්දුමබණ්ඩාර, අශෝක් අබේසිංහ හා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් මේ ගැන කතා කළ බවත් සීනි වංචාව ගැන හැම ප්‍රවෘත්ති සාකච්ඡාවකදීම කරුණු හෙළිදරව් කරන ලෙස උපදෙස් දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව කවුරුත් නොදන්නා බව එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

"මුලින්ම කිව්වෙ කවුද පස්සේ කිව්වේ කවුද කියන එක නෙමෙයි වැදගත්. ඇත්ත රටට හෙළිදරව් වීමයි වැදගත් වෙන්නේ. අපි මේකේ ඇත්ත හෙළිදරව් කරන්න කියලා ආණ්ඩුවට බලපෑම් කළා. මේක සාමූහික වැඩක්. කවුරුත් ලකුණු දාගන්න ඕනෑ නැහැ"යැයි මේ සියල්ල අසා සිටි සජිත් ප්‍රේමදාස මහතා අවසානයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(1 Vote)