දේශපාලන පලිගැනීම් සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් සම්බන්ධයෙන් සාමූහිකව ඊට මුහුණ දීමට විපක්ෂයේ සියලු පාර්ශ්ව එකට එකතු කිරීමේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කොට තිබේ.
එම කොමිසම විසින් චුදිතයන් ලෙස නම් කොට තිබෙන බහුතරයක් මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන අතර එහි නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟද සාකච්ඡා කොට තිබේ.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සජිත් ප්‍රේමදාස මහතා සමග එකට එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කොට තිබෙන අතර ඔවුන් වෙනමම මේ ප්‍රශ්නයට මුහුණ දීමට තීරණය කොට තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාටද දේශපාලන පළිගැනීම පිළිබඳ සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ චෝදනා එල්ල වී තිබේ.