May 01, 2024

බර්ටිට ඇමති විමල්ගෙන් නිවසක් 

September 25, 2014

ප්‍රවීණ කලා ශිල්පී බර්ටි ගුණතිලක මහතාට ප්‍රතිකාර ගැනීමේ පහසුව සඳහා කොළඹින් නිවසක් ලබාදීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ.

බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන මහලේ පිහිටි නිවාස අමාත්‍යාංශයේ දී මෙම නිවසේ යතුර බර්ටි ගුණතිලක කලාකරුවාට භාර දීම සිදු විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් දෙමටගොඩ, ආරාමය පෙදෙස, II අදියර මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවසක් මෙලෙස බර්ටි ගුණතිලක කලාකරුවාගේ පරිහරණය සඳහා ලබා දී ඇත.  

මේ වන විට 90 වැනි වියෙහි පසුවන බර්ටි ගුණතිලක මහතා අංක 568/A, වේරහැර, ගොඩකවෙල දරන ලිපිනයෙහි පිහිටි ඒ මහතාගේ බිරිඳගේ නිවසේ පදිංචිව සිටී. බර්ටි ගුණතිලක කලාකරුවාගේ වයස්ගතභාවය හා ඒ මහතාගේ රෝගී තත්ත්වය සඳහා කොළඹ සිට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සැලසීමේ අරමුණින් මෙම නිවස ඒ මහතාගේ පරිහරණය සඳහා ලබාදී ඇත්තේ බදු පදනම මතයි.  

වර්ෂ 1924 අගෝස්තු 02 වෙනිදා මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ උපත ලද බර්ටි ගුණතිලක මහතා 1948 වර්ෂයේ දී ‘‘සිරි අයියාගේ ” ළමා වැඩසටහන තුළින් ප්‍රථම වරට ගුවන් විදුලියට සම්බන්ධ විය. විහිළු තහළු, විනෝද සමයේ රස මැවූ බර්ටි ගුණතිලකයන් පසුකාලීන ව වේදිකා, ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන් සේ ම චිත්‍රපට විශාල සංඛ්‍යාවකට ද රංගනයෙන් දායක විය.

Rate this item
(1 Vote)