May 17, 2024

රනිල් - සජිත් සාකච්ඡාවේ අවසන් තීන්දුව ලඟදීම - පිරිසක් විරුද්ධයි

February 18, 2021

එක්සත් ජාතික පක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවන්හි අවසන් තීන්දුව තවමත් ලැබී නොමැති බවත් ඉදිරියේදී ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

මේ අවස්ථාවේ රට යම් බැරෑරුම් තත්ත්වයකට පත්ව තිබෙන බැවින් පක්ෂය හෝ පුද්ගලයන් ගැන පමණක් සිතා කටයුතු කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ (17) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එජාපයේම පිරිසක් කඩාගෙන ගොස් සමගි ජනබලවේගය ගොඩනැගීම නිසා විපක්ෂනායක සමග සාකච්ඡා කිරීමට එකඟ නොවන පිරිසක් පක්ෂයේ සිටින බවද ඉන්දියාවේ ප්‍රාන්තයක දේශපාලනඥයෙකු බී.ජේ.පී. පක්ෂය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය ඉන්දියානු මහ මහ කොමාසාරිස්වරයා සමග සාකච්ඡා කර පැහැදිලි කිරීමක් කරගැනීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට විශාල සම්බන්ධතා පැවැති බවත් ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ආණ්ඩුව ඉටු නොකිරීම නිසා අද දෙරට අතර යම් විරසකයක් ගොඩනැගී තිබෙන බවත් කී හෙතෙම මෙම තත්ත්වය ඉදිරියේදී ලංකාවට අයහපත් ලෙස බලපෑ හැකි බවද පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ඇමැතිවරියට කොවිඩ් ආසාදනය වී දින 19 කට පසු වැඩබලන සෞඛ්‍ය ඇමැතිවරයෙකු පත් කළ බවත් සෞඛ්‍ය ඇමැතිවරයෙකු නොමැතිව ගෙවුණු කාලය තුළ කොවිඩ් මරණ 94 ක් පමණ සිදුව තිබෙන බවත් මෙම මරණවලට වගකියන්නේ කවුද යන ප්‍රශ්නය පැන නගින බවද හෙතෙම පැවසීය.

Rate this item
(0 votes)