May 10, 2024

“තර්ජනවලට බය නෑ“ පොහොට්ටුව තනිව තරඟ කිරීමට සූදානම්! බැසිල්ගෙන් ශ්‍රීලනිපයට කණේ පහරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානයට එක් කර ගැනීම පිළිබඳ පසු තැවෙන්නේ නැති බවත් ශ්‍රීලනිපය නැති වෙනවාට තමා කැමැති නැති බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ රාත්‍රී හිරු නාලිකාවේ පැවැති දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමිනි.

තමන්ට අඩු සැලකිලි ලැබෙන බවටත් ගිවිසුම් කඩ කර ඇති බවටත් ශ්‍රීලනිප විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට චෝදනා එල්ල කිරීම පිළිබඳ එම වැඩසටහනේදී බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

කසාද බැන්දට දෑවැද්ද ගෙනාපු දේ කතා කරන එක වැඩක් නැති බවත් රණ්ඩු වෙන්නේ නැතිව වැඩකටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය දැක්වූ සහයෝගය කිසිසේත් අවතක්සේරු නොකරන බවත් දේශපාලනයේ සදාකාලික හතුරෝත් මිතුරෝත් නැති බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලනිපයේම කොටසක් බවත් නමුත් එය හයිබ්‍රිඩ් වූ හොඳ පක්ෂයක් බවත් පෙන්වා දුන් රාජපක්ෂ මහතා පක්ෂය නොව රට පරාජය විය හැකි නිසා ශ්‍රීලනිපය ප්‍රමුඛ සියලු පක්ෂ වල සහය මත මැතිවරණයට තරඟ කළ බවත් පසුගිය මහ මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දුන්නේ ඊට පෙර එම පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රමාණය මත බවත් ඒ අනුව ශ්‍රීලනිපයට අවශ්‍ය ප්‍රමාණය ලබා දී තිබූ බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් තර්ජන ආවත් ඊට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවත් අවශ්‍ය වුවහොත් තනිව තරඟ කර ජයග්‍රහණය කළ හැකි බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(3 votes)