May 16, 2024

ඉදිරි‍යේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ

December 02, 2020

ඉදිරියේදී මෙරට කිසිම ව්‍යාපෘතියක් වෙනුවෙන් ණය ලබා නොගැනීමට රජය හා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ වෙනුවට තනා නිම කර භාරදීමේ ක්‍රමය, ව්‍යවසායකයන් සහ රජය අතර එකඟතාවකින් කටයුතු කිරීම හා විදේශ ආයෝජන ආදී ක්‍රමවේද අනුව පමණක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ණය බර  ඉහළයාම වැලැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇමති රඹුක්වැල්ල මහතා කීවේය.

යහපාලන රජය 2015 වසරේ බලයට පත්වන විට ට්‍රිලියන 7.43 ක් වූ ණය බර යහපාලන රජය සමයේතව ට්‍රිලියන 5 1/2කින් ඉහළ ගොස් දළ දේශීය නිෂ්පාදිතයෙන් 87% වූ බව කී ඇමතිවරයා වර්තමාන අයවැයෙන් එය සියයට 92 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කීවේය.

තවත් ණය ලබා ගතහොත් රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා යනු ඇතැයි කී රඹුක්වැල්ල මහතා ජේ.ආර් ජයවර්ධන යුගයේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ තිබූ එම තත්ත්වයට යළිත් නොයා යුතු බව ද සඳහන් කළේය.

දේශීය නිෂ්පාදනයන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය බදු සහන, බදු ඉහළ නැංවීම් ආදී සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Rate this item
(0 votes)