May 01, 2024

ජනපති, අගමැති අනුරාධපුර පුදබිමේ ආගමික වතාවත්වල (PHOTOS)

November 14, 2020
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී අද (14) පස්වරුවේ පැවැත්විණ.
රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපතිවරයා ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිති කොට සෙත් පැතීමේ පිංකම සංවිධාන කෙරිණ.
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පිංකමට දිවයිනේ නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ. 
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දුටුගැමුණු මහ රජතුමාගේ ප්‍රතිමාවට මල් මාලා පළදවා පුෂ්පෝපහාර දැක්වීය.
මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගර්භයේ තැන්පත් කර ඇති ජයකොන්තයට පහන් දැල්වීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් කරනු ලැබීය.
ජනාධිපතිවරයා දැහැත් වට්ටිය පිළිගන්වා මහා සංඝරත්නයට සෙත් පිරිත් සජ්ජායනාවට ආරාධනා කළේය.
සෙත් පිරිත් සජ්ජායනයෙන් අනතුරුව මල්වතු, අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේ අටමස්ථානාධිපති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තිළිණ පිළිගැන්වූහ.
Rate this item
(0 votes)