May 01, 2024

මුහුදු මහා විහාර භූමිය පූජා භූමියක් කිරීමට අගමැතිගෙන් උපදෙස්

November 14, 2020

පොතුවිල්හි පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙසට නම් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

අම්පාර ඓතිහාසික දීඝවාපී චෛත්‍ය රාජයාණන්වහන්සේගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වූ අගමැතිවරයා, පොතුවිල්හි පිහිටි ඓතිහාසික මුහුදු මහා විහාරස්ථානයේ නිරීක්ෂණයකට ද සහභාගි වී විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවේදී මෙම උපදෙස් දී ඇත.

මුහුදු මහා විහාරස්ථානයට ගිය අගමැතිවරයා ප‍්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත විය. ඉන් අනතුරුව වැඩම කර සිටි මහා සංඝරත්නය අගමැතිවරයාට ආශීර්වාද කරමින් සෙත් පිරිත් සජ්ඣායනය කළහ.

විහාරස්ථානයට අයත් අක්කර 72 ක භූමි ප‍්‍රමාණය ආරක්ෂා කර දෙන ලෙසත්, නැගෙනහිර පළාතේ හඳුනා නොගත් පුරාවිද්‍යා ප‍්‍රදේශ ආරක්ෂා කර දෙන ලෙසත් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි මුහුදු මහා විහාරාධිපති, නැෙඟනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක වරකාපොළ ඉන්දසිරි නාහිමිපාණෝ 2003 වර්ෂයේදී අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු අවසන් වී ඇති බව ද දන්වා සිටියහ.

විහාර භූමිය ආරක්ෂා කිරීම සඳහා අගමැතිවරයාගේ මැදිහත්වීම යටතේ නාවික හමුදා අනුකණ්ඩයක් පිහිටුවීමට ද ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට අක්කරේපත්තුව ශ‍්‍රී විජයාරාමාධිපති දේවගොඩ සෝරත හිමි,බෞද්ධයා නාළිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන හිමිපාණෝ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, අම්පාර දිස්ත‍්‍රික් ලේකම් එන්. එල්. ඩබ්ලිව්. බණ්ඩාරනායක යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

Rate this item
(0 votes)