May 06, 2024

20 ගැන හිටපු ජනපති ගත් තීන්දුව සුරේෂ් රාඝවන් මන්ත්‍රීවරයා අගය කරයි

20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකී සිටීමට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් මහතා ප්‍රසිද්ධියේ ම අගය කොට තිබේ .

ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කරගැනීමට පෙර ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ රැස්වීම අවසන් වීමෙන් පසුවය.

කුමන අඩුපාඩුකම් තිබුණත් තමා මුල වී නිර්මාණය කළ 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා වන පනතකට තමාට ඡන්දය දීමට නොහැකි බව හිටපු ජනපතිවරයා විසින් වත්මන් ජනපතිවරයා වෙත මෙම රැස්වීමට පෙර ලිඛිත දන්වා යවා තිබුණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී 20 වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිට ඇති රාඝවන් මහතා එම රැස්වීම අවසන් වීමෙන් පසු එළියට පැමිණ එහි සිටි අනිකුත් මන්ත්‍රීවරුන් හමුවේ හිටපු ජනපතිවරයා ගත් තීන්දුව අගය කොට තිබේ.

හැමෝටම පන්දම් අල්ලන්නෙ නැතිව සිටින ලෙස එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා රාඝවන් මහතාට ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.

සුරේෂ් රාඝවන් මහතා හිටපු ජනපතිවරයාට සමීප වී උතුරේ ආණ්ඩුකාර ධුරය ලබා ගත් අතර ඉන්පසු බැසිල් රාජපක්ෂ මහතාට සමීප වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය එම පක්ෂයේ අනුමැතියකින් තොරව ලබා ගන්නා ලදී .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේ පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ලේකම්වරයෙකු වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාවය.

Rate this item
(2 votes)
Last modified on Saturday, 31 October 2020 11:24