May 18, 2024

හිටපු ජනපති ඉස්ලාම් අන්තවාදයේ ව්‍යාප්තිය මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ පිටින් යවයි

මුස්ලිම් නායකයින් රජය නියෝජනය කිරීමත්, අන්තවාදීන් පාලනය කිරීමට මුස්ලිම් නායකයින් කටයුතු නොකිරීමත් නිසා මුස්ලිම් අන්තවාදීන් පාලනය කිරීමට තම රජයට අපහසු වූ බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (12) පැවසීය.

එසේම ආරක්ෂක මණඩලයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කැඳවනු නොලැබුවේ ඔහුගේ යම් යම් ක්‍රියා කලාපයන් හේතුවෙන් බවත් හිටපු අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීම කැඳවීම හෝ නොකැඳවීම ජනපති අභිමතය මත සිදු කළ හැකි බවත් හිටපු ජනපති සඳහන් කළේය.

තවද හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉවත් කිරීමට හේතු වුණේ දේශපාලන බලපෑම් නිසා බවද හිටපු ජනපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එසේම තමා ජනපති වී පළමු සතියේම අගමැති රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කිරීමේ දී නොගැළපෙන විවාහයක් කරගෙන ඇති බවත් තමාට යක්ෂයකු සමග කටයුතු කිරීමට සිදු වූ බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයේ දී තමා සංවිධාන හතලිස් නවයක් සමග ගිවිසුම් අත්සන් කළද එම සංවිධානවල සිටි අය පිළිබඳව නොදන්නා බව ද කී හිටපු ජනාධිපතිවරයා තමා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නිර්පාක්ෂිකයකු ලෙස නොවන බවද කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව සමයේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් මෙරට මානව හිමිකම් කොමිසමෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට වැරදි වාර්තා යවනු ලැබුවේ මානව හිමිකම් කොමිසමට එල්.ටී.ටී.ඊ. අයෙකුගේ පවුලේ කෙනෙකු පත් කිරීම හේතුවෙන් බවද හිටපු ජනපති කොමිසම හමුවේ කියා සිටි අතර රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කළ පසු තමා ලබා දුන්, නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස නිලධාරීන්ට හිටපු අගමැති උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඊයේ (12 වැනිදා) දෙවන දිනටත් සාක්ෂි විමසනු ලැබුවාය.

මෙහි දී හිටපු ජනපති කියා සිටියේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් යන සිව් දෙනාගෙන් කිසිකෙනෙකු තමාට මෙම ප්‍රහාරය පිළිබඳව නොදැන්වූ බවය.

එම සිව්දෙනාගෙන් ඕනෑම කෙනෙකුට මේ තොරතුර ගැන තමාව දැනුවත් කිරීමට අවස්ථාව තිබූ බවද ඔහු පැවසීය.

අ.සො.ජනරාල්වරිය – අන්තවාදය ගැන කටයුතු කිරීමට සාකච්ඡාවන් කළාද?

හිටපු ජනපති – මට මතකයි ඉතාම පැහැදිලිව ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී දීර්ගව සාකච්ඡා කළා. එහි දී සිංහල වේවා මුස්ලිම් වේවා කව්රුන් සම්බන්ධයෙන් සියලු ක්‍රියාමාර්ග ගතයුතු බවට උපදෙස් දුන්නා.

අ.සො.ජනරාල්වරිය – කාටද උපදෙස් දුන්නේ ඔබ?

හිටපු ජනපති – ආරක්ෂක මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

අ.සො.ජනරාල්වරිය – ඒ දුන් උපදෙස් නිලධාරීන් අනුගමනය කළා නම් මේ ප්‍රශ්නයත් සිංහල සහ මුස්ලිම් ජන කොට්ඨාසවලින් නැතිවෙලා යන්න ඕනෑ නේද?

හිටපු ජනපති – ඔව්.

අ.සො.ජනරාල්වරිය – අයි.එස්.අයි.එස්. සංවිධානය ක්‍රියා කරන්නේ කොයි ආකාරයටද ප්‍රහාර එල්ල කරන්නේ කොයි ආකාරයටද කියලා රාජ්‍ය බුද්ධි සේවය ලිඛිතව ඔබට යොමු කළානේද?

හිටපු ජනපති – ඔව් මට මතකයි.

අ.සො.ජනරාල්වරිය – රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ මේ ලිපියේම කියනවා සිංහල හා මුස්ලිම් සංවිධානය කටයුතු කිරීමේ දී (ලිපිය පෙන්වමින්) ජාත්‍යන්තර වශයෙන් යම් ප්‍රකාශ නිකුත් කර ඇති බව.

හිටපු ජනපති – මෙයින් පෙනී යනවා රජය ක්‍රියාමාර්ග ගන්න කොට ඔවුන් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන හා විදේශ තානාපති කාර්යාල ඔවුන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ආකාරය එය රහසක් නොවෙයි. ලිපිය බලපුවහම ඔවුන්ගේ මැදිහත් වීම පෙනෙනවා, ක්‍රිස්තියානි මූලධර්මවාදය, මුස්ලිම් අන්තවාදය හින්දු අන්තවාදය පිටුපස මේ සංවිධාන ඉන්නවා. ඉතාම බරපතළ සංකීර්ණ පසුබිමක් ඔය අවුරුදු තුන හතරෙදි තිබුණා.

අ.සො.ජනරාල්වරිය – මූලධර්මවාදී හා අන්තවාදී තීන්දු තීරණ ගැනීමේ දී ඔවුන්ට විදේශ බලවේග සහාය දුන්නාද?

හිටපු ජනාධිපති – ඒක සත්‍යයක්, ඇතැම් සංවිධාන රට තුළට ඇවිත්, ළදරු පාසල් අරඹනවා. මව්වරුන්ට උදව් කරන්න එනවා. නමුත් ලියාපදිංචි වුණාට පස්සෙ කරන්නෙ වෙන දෙයක්.

අ.සො.ජනරාල්වරිය – ඔබ ඔය කියපු ආකාරයට රාජ්‍ය නොවන සංවිධානවලින් ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධයෙන් තීරණ ගන්නකොට එවැනි බලපෑම්වලට මුහුණ දුන්නාද?

හිටපු ජනපති – මම සිංහල බෞද්ධයෙක් විදිහට බෞද්ධ අන්තවාදී සංවිධාන පාලනය කරන්නට හැකි වුණා. මම මහානායක හිමිවරුන්ට කතා කරනවා. මම සෘජුවම සම්බන්ධවෙලා උපක්‍රම යොදලා සිංහල බෞද්ධ සංවිධාන පාලනය කළා. මුස්ලිම් අන්තවාදී සංවිධාන පාලනය කර ගැනීමට නොහැකි වුණා. නමුත් ඉස්ලාම්, මුස්ලිම් නායකයන් වෙනත් කරුණු පැහැදිලි කරන එක තදින් කරලා තියෙනවා. නමුත් ජනපති හැටියට විවිධ සංවිධානවල අය සමග පුද්ගලික සංවිධාන ගැන කතා කරන්න බැහැ. ඒ කියන්නේ එතකොට ඔවුන් මාව පාවිච්චි කරන්න තිබුණා. ජනපති අපි එක් සාකච්ඡා කළා කියා.

අ.සො.ජනරාල්වරිය – මුස්ලිම් අන්තවාදීන් පාලනය කරන්න අපහසු වුණාද?

හිටපු ජනපති – මුස්ලිම් අන්තවාදීන් පාලනය කිරීමට අපහසු වුණා. ප්‍රධාන හේතුව මුස්ලිම් නායකයන් රජය නියෝජනය කිරීම හා මුස්ලිම් අන්තවාදය පාලනය කිරීමට මුස්ලිම් නායකයන් කටයුතු නොකිරීම නිසා පාලනය කරගන්න බැරි වුණා. ඒ විනාශය පෙනී ගිය නිසා තමයි බැරිම තැන ආණ්ඩුව වෙනස් කළේ.

අ.සො.ජනරාල්වරිය -ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ පොදු අපේක්ෂකයා විදිහටනේ. ඔබතුමා පිවිසන්නේ නිර්දේශපාලනයට කියල ඔබ එකඟ වුණාද?

හිටපු ජනපති – නැහැ. එවැනි එකඟතාවයක් හෝ සාච්ඡාවක් ඇතිවුණේ නැහැ.

අ.සො.ජනරාල්රිය -එවක අගමැති රනිල් වික්‍රමසිංහ සාක්ෂි දෙනකොට කිව්වා ඔබතුමා පොදු අපේක්ෂක විදිහට 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නිර්පාක්ෂිකව කියලා.

හිටපු ජනපති – ඒක සම්පූර්ණ අසත්‍යයක්. එතුමා එවැනි සාච්ඡාවක් කළේ නැහැ.

අ.සො.ජනරාල්වරිය -එතුමා කිව්වා ඔබට ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ගන්න කටයුතු කළේ එතුමා කියලා.

හිටපු ජනපති – දේශපාලන වේදිකාවක කියන කතාවක් මෙතන කියලා තියෙන්නෙ. ඊට වඩා හොඳ විග්‍රහයක් මට කොමිසමේ කියන්න පුළුවන්. අවුරුදු 47ක් දේශපාලනන කළා. මම ඡන්ද හැටදෙලක්ෂයක් ගත්තා. එතුමා එතුමාගේ ශක්තියෙන් මාව ජනාධිපති කළා කියලා කියනවා නම් ඒක අසත්‍යයක්. ආණ්ඩුව කරගෙන යද්දී, මහ බැංකු කොල්ලය ගැන කටයුතු කරද්දී, නොගැළපෙන විවාහයක් කරගෙන තියෙන්නේ කියලා හැඟුණ.

අ.සො.ජනරාල්වරිය – 2015 මැතිවරණයේදී ඔබට කාත්තන්කුඩියේ සහරාන් සහය දුන්නද?

හිටපු ජනපති – මම දන්නෙ නැහැ. කවුරු වැඩ කළාද කවුද නැත්තේ කියලා.

අ.සො.ජනරාල්රිය – නැෂනල් ෆන්ඩ් ෆෝ ගුඩ් ගවනර්ස් සංවිධානය මුස්ලිම් ඇමැතිවරු හා සහරාන් සමග ගිවිසුමක් ඇතිකරගෙන ඔබට සහය වෙන්න කියලා එකඟතාවන්ට එළඹිලා තිබුණා නේද?

හිටපු ජනපති – මම පොදු අපේක්ෂකයා හැටියට සංවිධාන හතළිස් නවයක් සමග ගිවිසුම් අත්සන් කළා. මම ඒවයේ හිටියේ කවුද කියලා දන්නෙ නැහැ.

අ.සො.ජනරාල්වරිය – 2015 ජනාධිපතිවරණය ඔබ නිර්පාක්ෂිකවද ඉදිරිපත් වුණේ.

හිටපු ජනපති – මම දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වුණේ මගේ ලකුණ හංසයා.

අ.සො. ජනරාල්වරිය – ඔබතුමා මට අවස්ථා කිහිපයකදී කිව්වා 2018 ඔක්. 26 සිදුවුණු දේශපාලන පෙරළිය ගැන ඔබතුමාට එය පැහැදිලි කරන්න පුළුවන්ද?

හිටපු ජනපති – ඒක බොහොම දිග කතාවක්. 2015 දී මම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා පළමුවැනි සතියම රනිල් හා මා අතර අර්බුදය ඇතිවුණා. මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් පත් කරන්න කියලා අගමැති රනිල් බල කළා. මම ඇහුවා මෙයා විදේශිකයෙක්නෙ කියලා අගමැතිවරය මේ ඉල්ලීම කරද්දි මට ඒක අහක දාන්න බැරිවූ නිසා ඔහුව පත් කරන්න සිද්ධ වුණා.

පළමුවැනි කැබිනට් රැස්වීම, විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත්වීම, විෂයයන් තෝරා ගැනීම, මහාචාර්යවරු තුන් දෙනකුට භාර දුන්නා. මහාචාර්ය හෙට්ටිගේ ඇතුළු ඒ අය එම විෂයයන් හදලා භාර දුන්නා. මම ජයගත්තට පස්සේ රනිල්ට දුන්නා මේ ෆයිල් එක අඩුම වශයෙන් ඔහු ඒක බලලවත් තිබුණෙ නැහැ.

මුල් සතියේ දෙකේම හුඟක් හිත් වේදනාවක් ඇති වුණා. මාස දෙක තුන වෙද්දි මහබැංකු සිද්ධිය පළමුවැනි එක. මාස තුන හතර වෙන කොට ඊළඟ මහ බැංකු ප්‍රශ්නයට කොමිසමක් පත් කළාම මා සමග වෛරයෙන් කටයුතු කළා. ගැටලු ඇති වෙන නිසා සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම මම නැවැත්වූවා. ජිනීවා එක්ක කටයුතු කිරීමේදී මම දන්නෙ නැතුව හමුදාවලට විරුද්ධව වාර්තා යවනවා. 19 වැනි සංශෝධනයෙන් අපේ මානව හිමිකම් කොමිසම අපේ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව ජිනීවා කොමිසමට වාර්තා යවනවා. ජිනීවාවල අය අහනවා මේ ඇයි කියලා. මේ මගේ ආණ්ඩුව කාලේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්ට ලංකාවෙන් යවන එක අඩාළ වුණා. මම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සභාපතිනියට එන්න කියලා මොකක්ද මේ කළේ කියලා ඇහුවා. 2017දී වගේ මේ සිද්ධිය වුණේ. මානව හිමිකම් කොමිසම බරපතළ ලෙස මානව හිමිකම් කඩනව කියලා අපේ මානව හිමිකම් කොමිසම ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි 300ක් පමණ යවා තිබෙනවා. L.T.T.E. අයකුගෙ පවුලෙ කෙනෙක් මානව හිමිකම් කොමිසමට පත් කළා. ඒක නිසා තමයි අපේ රටට විරුද්ධව ජිනීවාවලට වාර්තා යැව්වේ. මෙවැනි තත්ත්වයක් ඇති වුණා මගේ ආණ්ඩුව කාලේ. මහවිශාල ව්‍යාකූල තත්ත්වයක් තිබුණේ. රටේ ආරක්ෂක අංශ බුද්ධි අංශ බේරාගෙන ඉදිරියට යන්න මම විශාල කැප කිරීමක් කළා. විදේශ බලපෑම් වලින් රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති කරන්න විවිධ සංවිධාන පෙනී සිටින්න ගත්තා. ඒවා තමයි මේවට ඇතිවෙච්ච පසුබිම.

අ.සො. ජනරාල් – ඔබතුමා එවකට පැවැති රජය අතර ගැටුම් ඇති වුණානේද?

හිටපු ජනපති – ඔව්.

අ.සො. ජනරාල්වරිය – එවැනි ගැටීම් ඇති වීමෙන් රටේ ජාතික ආරක්ෂාවට එය බලපාන බව ඔබට වැටහුණාද?

හිටපු ජනපති – එවැනි ගැටුම් ජාතික ආරක්ෂාවට බලපෑම් ඇති වෙනවා. ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවලට එවැනි බෙදීම්, එවැනි බලපෑම් ඇති වුණේ නැහැ.

සභාපති විනිසුරු – මීට පෙර දුන් සාක්ෂි අනුව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මුස්ලිම් අන්තවාදය ගැන කතා කිරීමේදී යම් කෙනෙක් ඔහුට විරුද්ධ වුණාද?

හිටපු ජනපති – ඔව්.

සභාපති විනිසුරු – ඒ කවුද?

හිටපු ජනපති – හිටපු අගමැතිතුමා. ඒ ආණ්ඩුවේ වැඩි මුස්ලිම් නියෝජනයක් තිබුණ නිසා.

සභාපති විනිසුරු – ආණ්ඩුවේ තිබුණු මතය නිසාද එහෙම වුණේ?

හිටපු ජනපති – ඔව්. නමුත් අවුරුදු පහකට ආසන්න කාලයේදී ඒ සිද්ධිය විතරයි වුණේ.

සභාපති විනිසුරු – අපි සිද්ධි දාමය කතා කරමු. සුරේෂ් සලේ මලයාසියාවේ තානාපති කාර්යාලයට කැඳවීමේ එම පසුබිම තුළ හමුදා බුද්ධි අධ්‍යක්ෂකට නි​දහසේ අන්තවාදය ගැන කටයුතු කරන්න හැකියාව තිබුණෙ නැහැ කියන එකද කියන්නෙ.

හිටපු ජනපති – ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම හැර නාවික හමුදා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරු ගෙනැල්ලා කතා කරනවා. ආරක්ෂක මණ්ඩලයේ ඇති වූ තත්ත්වය නිසා මාත් එක්ක වෙනමම කතා කරන්න අවස්ථාව දුන්නා.

සභාපති විනිසුරු – සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම දේශපාලන බලපෑම් ආවා කියලා කියන්න පුළුවන්ද?

හිටපු ජනපති – ඔව්. කරුණු දෙකක් කර තිබුණා. දේශපාලන බලපෑම් ආවා. අගමැති සහ එවක හිටපු ඇමැතිවරයෙක් සුරේෂ් සලේ තියා ගන්න එකට විරුද්ධ වුණා. සුරේෂ් සලේ වෙනත් සිද්ධියකට පටලවලා උසාවියට ඉදිරිපත් කරන්න කටයුතු කළා. හමුදාපති මාත් එක්ක කතා කළා. එයාව අත්අඩංගුවට ගන්න පෙර අපි සුරේෂ් සලේ මලයාසියාවට යැව්වා. එතැනදී හමුදාව පැත්තෙන් පෙන්නුවා. මෙයාට එල්.ටී.ටී.ඊ. තර්ජන තියෙනවා කියලා උපක්‍රම පාවිච්චි කරලා තමයි අපි එයාව යැව්වේ.

ආ.සො.ජනරාල්වරිය – ඔබතුමන් කිහිපදෙනකුට ආරක්ෂක මණ්ඩලය තහනම් කළාද?

හිටපු ජනපති – තහනම් කළේ නැහැ. යම් යම් අයගේ හැසිරීම් නිසා ඇතැම් අයට එන්න එපා කිව්වා.

ආ.සො.ජනරාල්වරිය – ඇයි හේතුව?

හිටපු ජනපති – කරුණු ගණනාවක් මත. පොලිස්පති පූජිත් ජයසුන්දර ඔහුගේ නිල කාලය තුළ බොහෝ විවේචනයට ලක්වුණා. ආරක්ෂක මණ්ඩල රැස්වීම ආපුවහම ෆෝන් දෙකේ තමයි ඉන්නේ. මම පුද්ගලිකව කිව්වා ෆෝන් දෙකේ ඉන්න එපා මෙතන වෙන දේ බලන්න කියලා. පොලිස්පති විදිහට ආරක්ෂක මණ්ඩලයට කිසිම පැහැදිලි කිරීමක් කළේ නැහැ. 2018 ඇසළ පෙරහරේ පූජිත් ජයසුන්දර නැටුවා. නටලා දවස් දෙක තුනකට පස්සේ මම ඇහුවා ​මොකක්ද ඒ කළේ කියලා.

මේක, රූපවාහිනි මාධ්‍යවල ගියා රටේ ලොකු කතා බහක් ඇති වුණා. තව මාතර පැත්තේ ඉස්කෝලෙකට ගිහින් ගුරුවරුන් නැගිට්ටලා ප්‍රශ්න අහලා ගැටලුවක් වුණා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමැති කාලේ විනය පරීක්ෂණ පටන් ගත්තා. ඊළඟට මට බරපතළ ලෙස ආපු පැමිණිල්ලක් තමයි පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව කළ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ඔත්තුකරුවන්ට මුදල් දෙන්න ඕන. පොලිස්පතිගෙන් අවශ්‍ය මුදල දෙන්නේ නෑ කියලා මට වාර්තා වුණා. මේ වගේ වැරදි රාශියක් සිදුවුණා. ඉතින් එහෙම ආරක්ෂක මණ්ඩල, ආරක්ෂක රැස්වීම්වලට එන්න එපා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රවි සෙනෙවිරත්න හා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගෙන්න ගත්තා. තවත් මේ වගේ කරුණු රාශියක් දිගින් දිගටම වුණා. පොලිස්පති එක දිගටම වැරදි කරනකොට අගමැති රනිල් වික්‍රමසිංහ හා තවත් ඇමැතිවරු පස්දෙනෙක් සමග කතා කරලා මෙයාව මගේ ගෙදරට ගෙන්වලා උපදෙස් දුන්නා.

ඒ වෙලාවේදී ඔහු පොරොන්දු වුණා නැහැ සර් ආයේ එහෙම කරන්නේ නැහැ කියලා. එත් පස්සේ පොළොන්නරුවේ උත්සවයකදී පූජිත් මගෙන් ඇහුවා සිංදුවක් කියන්නද කියලා. එකක් කිව්වා, දෙකක් කිව්වා මම හිතුවා සින්දු තුනක් කියලා බහී කියලා. මෙයා බැස්සේ නැහැ. සිංදු හයක් කිව්වා. මට තේරුණා දැන් හූවක් එනවා කියලා. මම නැගිටලා ගියා. මගේ ළඟට ඇවිත් ඇහුවා සර් සිංදුව හොඳද කියලා. මම කිව්වා හොඳ නිසා තමයි මම යන්නේ කියලා.

මොන ප්‍රශ්නේ තිබුණත් අපි එකට වැඩ කෙරුවා. ඔය කෝල් දෙන්න බැහැ. හමුවෙන්න බැහැ. කියන කතා සම්පූර්ණ බොරු.

ආ.සො.ජනරාල්වරිය – පොලිස්පතිට වෙන රාජකාරි තිබුණේ නැද්ද?

හිටපු ජනපති – ඔව්. ඒකත් ඇත්ත තමයි. මම යන හැම උත්සවයකටම ආවා.

ආ.සො.ජනරාල්වරිය – එහා මෙහා යන නයි රෙද්ද ඇතුළේ දාගන්න එපා කියලා කාටහරි ඔබ කිව්වද?

හිටපු ජනපති – එහෙම නයි රෙද්ද ඇතුළේ දාගන්න එපා කියන වචනය මගේ කටේ නැති වචනයක්. මම ප්‍රතික්ෂේප කරනවා.

අ.සො. ජනරාල්වරිය – ටී.අයි.ඩී. හිටපු නාලක සිල්වා සහ පොලිස්පති ඔබව හමුවෙන්න ඇවිත් අන්තවාදීන් ගැන කරුණු ඉදිරිපත් කළාද?

හිටපු ජනපති – ඔව්

අ.සො. ජනරාල්වරිය – ඒ වෙලාවේ ඔබ පොලිස්පතිට කිව්වද විවෘත විමර්ශන කරන්න එපා නිලන්ත මොනිටර් කරපුවාම ඇති කියලා.

හිටපු ජනපති – නැහැ. මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කිසිම තැනක අන්තවාදය මත්ද්‍රව්‍ය ගැන කටයුතු කරන්න එපා කියලා කිව්වෙ නැහැ. සම්පූර්ණ අසත්‍යයි.

අ.සො. ජනරාල්වරිය – ඔබතුමා දන්නවද මුස්ලිම් ජන කොට්ඨාසය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන බව

හිටපු ජනපති – ඔව්.

අ.සො. ජනරාල්වරිය – නමුත් රටේ ඡන්දදායකයින් පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ගේ හැසිරීම දැකල 2018 නොවැම්බර් විතර සමාජජාල හරහා ප්‍රජාතන්ත්‍රවාදය මේකද කියලා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. කිලාපතයක් ප්‍රකාශයට පත් කිරීම කියන්නේ ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම. අබු බකර් අල් බග්දාදිගෙ සිතියමේ අපේ රටකත් තියෙනවා. ඔබතුමාට මේ රට මේ තත්ත්වයට පත් වීම ගැන කොමිසමට පැහැදිලි කරන්න පුළුවන්ද?

හිටපු ජනපති – ආරක්ෂක හමුදා පොලිසිය ආගමික නායකයින් දේශපාලන නායකයන් අන්තවාදය, මර්දනය කිරීමට පාලනය කිරීමට ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා නමුත් ප්‍රාදේශීය වශයෙන් ඇති වූ තත්ත්වයන්වලදී ප්‍රාදේශීය නිලධාරින් හා මෙහි ප්‍රධාන වගකීම, බුද්ධි අංශ පොලිසියට පැවරෙන්නේ ඔවුන් වගකීම භාර ගත යුතුයි. සහරාන්ට වරෙන්තු නිකුත් වී තිබිය දීත් අත්අඩංගුවට ගැනීම ජනාධිපතිගේ කාර්යයක් නෙවෙයි.

කොහොම වුණත් දේශපාලන නායකත්වය මගේ උපදෙස්වලට අනුව යන්නෙ නැතුව කටයුතු කළ නිසා තමයි ආණ්ඩු වෙනසකට කටයුතු කරන්න සිදුවුණේ. ව්‍යවස්ථාවෙන් මට බලයක් තිබුණා නම් මම පාර්ලිමේන්තුව විසුරුවනවා. අගමැති, ඇමැති මණ්ඩලය අන්තවාදයට රුකුල් දෙන්න කටයුතු කරන කොට මම ඒවා වැළැක්කුවා. මේ සිදුවීම වෙනකොට මගේ අතට පොලිසිය පත් වෙලා මාස 4යි. මට සහාය දෙන්න සුළු පිරිසයි හිටියේ. මම ඒ අය එක්ක කටයුතු කළා. නීතිය හා සාමය අමාත්‍යාංශය අවුරුදු 4ම මගේ පාලනයේ නෙමෙයි තිබුණේ. මම මගේ උපරිම ශක්තිය යොදනවලා මේවා මර්දනය කරන්න කටයුතු කළා. නමුත් ආණ්ඩුවේ හිටපු මුස්ලිම් පාර්ශ්වය මම කියපු දේ කළේ නැහැ. ඒ අය ඒ අයට ඕන දේ තමයි කළේ. 2017 පාර්ලිමේන්තුව විසුරුවන්න මට බලයක් තිබුණානම් 2018 විසුරුවනවා. සහරාන් මුලින්ම අත්අඩංගුවට ගන්න ඕන වෙලාවෙ අත්අඩංගුවට ගන්න මම නියෝග කළා. ඇයි මේවා නොකළේ කියන එක ප්‍රශ්නයක්. කලට වේලාවට මම දුන්න උපදෙස් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒවායේ අවසාන ප්‍රතිඵලය තමයි අන්තවාදය වර්ධනය වුණේ.

අ.සො. ජෙනරාල්වරිය – ඔබ අන්තවාදය ගැන උපදෙස් දුන්නට ඒ ගැන පසු විපරම් කළාද?

හිටපු ජනපනති – පසු විපරම් කළා.

කොමිසම – 2019 ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් කීයක් පැවැත්වුවද?

හිටපු ජනපති – අප්‍රේල් 22ට පෙර රැස්වීම් දෙකයි පවත්වල තියෙන්නේ.

​කොමිසම – වනාතවිල්ලුව, මාවනැල්ල සිද්ධි ගැන දැනගෙන හිටියානේ ඔබ. ඇයි පෙබරවාරි පස්සේ ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්තුවේ නැද්ද?

හිටපු ජනාධිපති – වනාතවිල්ලු මාවනැල්ල සිද්ධිය ත්‍රස්තවාදී සිද්ධි ලෙස වාර්තා වුණේ නැහැ මගේ මතකයේ හැටියට.

කොමිසම – ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැති කැඳෙව්වේ නැත්තේ ඇයි?

හිටපු ජනපති – ආරක්ෂක මණ්ඩල ගැසට් නිවේදනය අනුව අගමැති ආරක්ෂක මණ්ඩලයට නැහැ. ජනපතිගේ අභිමතය මත අවශ්‍ය අවස්ථාවලදී අගමැති ගෙන්නන්න පුළුවන්.

කොමිසම – ආරක්ෂක මණ්ඩලයේ අගමැති කතා කරනවද?

හිටපු ජනපති – මගේ මතකයේ හැටියට අගමැති ජාතික ආරක්ෂක මණ්ඩල​ෙය කිසිම දවසක වචනයක්වත් කතා කරලා නෑ. ටික වේලාවක් ඉඳලා යනවා.

ආ.සො.ජනරාල්වරිය – ඔබතුමා අදාළ කාලය තුළ ආරක්ෂක මණ්ඩල රැස්වීම් නොපැවැත්වීම නිසා එමගින් ජාතික ආරක්ෂාවට බාධා ඇතිවෙලා තියෙනවා නේද?

හිටපු ජනපති – මම ආරක්ෂක අමාත්‍යාංශ රැස්වීම් කැඳවනවා. ඒ වෙන්නේ මීට අමතරව සාකච්ඡා කිරීම්, මේ සෑම කෙනෙක්ම නිතරම මට හමුවෙනවා.

ආ.සො.ජනරාල්වරිය – ඔබ එහෙම කිව්වට රාජ්‍ය නිලධාරීන් සාක්ෂි දෙමින් කීවේ නියමිත පරිදි ආරක්ෂක මණ්ඩලය රැස්වීම්වලදී සාධනීය පියවර ඔබතුමා හෝ අන් අය නොගන්නා බව

හිටපු ජනපති – ඒක මට පිළිගන්න අමාරුයි. ආරක්ෂක මණ්ඩල ​බොහෝ අපක්ෂපාතීව වැඩ කළ තැනක්.

ආ.සො.ජනරාල්වරිය – ඒ නිලධාරීන් කියපු කරුණු ඇත්ත නිසාද අප්‍රේල් 21 බෝම්බ 8ක් පිපිරු​වේ?

හිටපු ජනපති – ඒ සිද්ධිය ආරක්ෂක මණ්ඩලයෙ කටයුතුවල තත්ත්වයට වෙනස් විදිහටයි මම දකින්නේ. තොරතුරු දිගට ලැබිලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ආරක්ෂක මණ්ඩල උපදෙස් අනුව මෙවැනි තොරතුරු ලැබුණු පසුව ක්‍රියාත්මක විය යුතුයි. ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී අප්‍රේල් 21 සිද්ධිය ගත්තාහම මෙතන වෙලා තියෙන්නේ තොරතුරු ලැබිලා නොසලකා හැරපු නිසා, මේ නිලධාරීන් බබාලා නෙවෙයි.

සභාපති විනිසුරු – තොරතුරු ඉස්සෙල්ලම ලැබුණේ කාටද?

හිටපු ජනපති – රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන

සභාපති විනිසුරු – ඔබ ආරක්ෂක ලේකම්ගේ, පොලිස්පතිගේ නම් කිව්වා. ඇයි නිලන්ත ජයවර්ධනගෙ නව කියන්නේ නැත්තේ?

හිටපු ජනපති – ආරක්ෂක ලේකම් හා පොලිස්පති යටතේයි නිලන්ත ජයවර්ධන හිටියේ.

සභාපති විනිසුරු – ඔබතුමාට කවුද මුලින්ම තොරතුරු දෙන්න ඕන.

හිටපු ජනපති – නිලන්ත ජයවර්ධන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, ඔය හතරදෙනාටම මට මේක දැනුම් දෙන්න තිබුණා.

කොමිසම – ඔබට දැන්නුවා නම් මොකද කරන්නේ?

හිටපු ජනපති – වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවලා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනවා. බුද්ධි සේවා, පොලිසිය වහාම යොදවලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. කාදිනල්තුමාට දන්වනවා වහාම ආරක්ෂාව සැලසීම හා ත්‍රිවිධ හමුදාවට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය උපදෙස් දෙනවා.

කොමිසම – ඔබතුමා විදෙස්ගත වන විට මෙවැනි තොරතුරු කවුද දැනුම් දෙන්නේ.

හිටපු ජනපති – ඒ හතර දෙනාගෙන් ඕනම කෙනෙකුට මට දැනුම් දෙන්න පුළුවන්.

කොමිසම – එම නිලධාරීන්ට ඔබතුමාගේ සෘජු අංකය දීලාද තියෙන්නේ?

හිටපු ජනපති – මගේ නිවසට හෝ ජනාපති ලේකම්වරයාට හෝ කිව්වම මම ලෝකේ කොහේ හිටියත් මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා මට දෙනවා.

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්

මුස්ලිම් අන්තවාදය ඔඩුදිව්වේ ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරු නිසයි

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

රනිල් හා වැඩකිරීම යක්ෂයකු සමග කටයුතු කිරීමක් බව පළමු සතියේදීම හැඟුණා

හේමසිරි, පූජිත්, නිලන්ත, සිසිර

මේ කවුරුත්ම පාස්කු ප්‍රහාරය ගැන මා දැනුවත් කළේ නැහැ

වෙන රාජකාරි නොතිබුණු ගාණට පූජිත් මම යන යන තැන ආවා

Rate this item
(0 votes)