May 19, 2024

හිටපු ජනපති මෛත්‍රී අදත් පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වේ.

මීට පෙර පසුගිය 05 වැනිදා හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියේය.

මේ අතර පසුගිය සෙනසුරාදා ජනාධිපති කොමිසම හමුවේ 11 වන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ, පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලද පෙර දැනුවත් කිරීමේ තොරතුරු ප්‍රහාරයට පෙර එවකට රාජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටියේ යැයි තමන් කිසිලෙසකින්වත් විශ්වාස නොකරන බවය.

එහිදී හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ, සෑම තොරතුරක් පිළිබඳවම රටේ ප්‍රධානියා දැනුවත් කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙම තොරතුර පමණක් දැනුවත් නොකළ බව තමන් පිළිනොගන්නා බවය.

කෙසේවෙතත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අප්‍රේල් මස  04 වැනි දා ලද බුද්ධි තොරතුර පිළිබඳ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා දුරකථනයෙන් තමා දැනුවත් කළ බවට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබුණ ද එය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ලතීෆ් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් තුන්වන අවස්ථාව මෙය වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 15:59