May 10, 2024

ශ්‍රීලනිප - පොහොට්ටු දීගයට යළිත් පොරොන්දු මල්ලක්! බැසිල් එක්ක සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගිය මැතිවරණයේදී ගොඩනගා ගත් එකඟතාවයන් වඩාත් ඵලදායි ලෙස අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟතාව පළ කර තිබේ.

එම එකඟතාවයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් සහෝදර දේශපාලන පක්ෂ සමඟ සුහදතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාව ඊයේ (06) බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති අවස්ථාවේදීය.

පක්ෂ දෙකෙහිම පළාත් පාලන නියෝජිතයන් එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටත්, ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වීමට පක්ෂ දෙකෙහිම නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් මෙහිදී එකඟතාවය පළ කර තිබේ.

එසේම, සංවර්ධන කටයුතුවලදී පක්ෂ දෙකේම නියෝජිතයන් සඳහා සමාන අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කළේය.

පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග මෙන්ම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න ඊට එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 October 2020 00:54