May 17, 2024

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කොරෝනා නීති කඩ කරයි

අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස විවාදයට ගැනේ.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තු විවාදයට එක්ව සිටින ආණ්ඩු පක්ෂ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැර සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ කඩ කරමින් මුඛ ආවරණ පැලැඳ නොසිටි බව පෙනී ගියේය. විශේෂයෙන් පාර්ලිමේන්තුව ඇමතීමේදී මුඛ ආවරණ පැලැද කතා කළ යුතු වුවද සභාව ඇමැතූ සියලු මන්ත්‍රීවරන් මුඛ ආවරණ ගලවා සභාව ඇමතීම සිදු කළේය.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව පසුගිය 31 වැනිදා පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ.

එම සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබිණි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව ආවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ යුතු බවද මාර්ගෝපදේශවල සදහන් වේ.

මාර්ගෝපදේශයන්ට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් 225 දෙනාටම පාර්ලිමේන්තු රැස්වීමේදී සභා ගර්භයේ සෞඛ්‍ය ආරක්ෂිතව අසුන් ගත හැකිවන නමුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ තමාට වෙන් කර තිබෙන ආසන වල පමණක් අසුන් ගැනීම අනිවාර්‍ය වන අතර සභා ගර්භය තුළ රැදී සිටින සෑම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ  යුතුය.

සභා ගර්භයේ රැදී සිටින සියලුම නිලධාරින් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම ගැලරියන්හි සිටින සියලුම පාර්ශවයන් ද මුව ආවරණ පැළද සිටිය යුතු බව මාර්ගෝපදේශවල සඳහන්ව ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභා රැස්වීම් වලදී ද මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්‍ය වේ. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී හැකි සෑම විටම මුව ආවරණ පැළද සිටීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කර තිබේ.

මෙයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තමන්ගේ ජංගම දූරකථන සහ පෑන් ඇතුළු පුද්ගලික උපකරණ හුවමාරු නොකළ යුතු අතර, වැළද ගැනීම්, අතට අතදීම වැනි ආචාර කිරීමේ ක්‍රමයන්ගෙන් වැළකී සිටිය යුතු බවද මාර්ගෝපදේශවල අන්තර්ගත වේ.

Rate this item
(0 votes)

Related items