May 10, 2024

පක්ෂයක අයිතියට එජාපය හා සජබ ගැටෙයි

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ අයිතිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය අතර ගොඩනැගුණු ගැටුම තවදුරටත් උත්සන්න වී ඇති බව වාර්තා වෙයි.

ආරම්භයේ පටන්ම මෙම වෘත්තීය සමිතිය එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළ නමුත් එජාපයෙන් කොටසක් සමඟි ජන බලවේගය ලෙස ඉවත්ව යෑමත් සමඟ මෙම වෘත්තීය සමිතියේ හිමිකම පිළිබඳ ප්‍රශ්නයක් මතුවිය.

එතෙක් මහ ලේකම් ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් මහතා වන අතර සභාපති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළ අතර ඔවුන් එජාපයෙන් ඉවත්වීමත් සමඟ වෘත්තීය සමිතියේ තනතුරුවල වෙනසක් සිදුවිය.

ඒ අනුව නවීන් දිසානායක මහතා සහ රාමයියා යෝගරාජන් යන හිටපු මන්ත්‍රීවරු නව තනතුරුවලට පත්කෙරුණි.

එම තනතුරු මාරුව සමඟ වෘත්තීය සමිතියේ අයිතිය සම්බන්ධයෙන් වන ගැටුම ඇරඹි අතර සුරේෂ් වඩිවේල් මහතා පැවසුවේ එය ස්වාධීන වෘත්තීය සමිතියක් වන අතර එය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පාලනය කිරීමට නොහැකි බවයි.

එහෙත් එජාපයෙන් ඊට ප්‍රතිචාර ලෙස ලැබුණේ සුරේෂ් වඩිවේල් මහතාගේ ප්‍රකාශය අසත්‍ය වන අතර එම වෘත්තීය සමිතිය එක්සත් ජාතික පක්ෂයට අයත්වන අතර එහි තනතුරු පත්කරන්නේ එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය විසින් බවයි.

කෙසේවෙතත් මේ වන විට වතුකම්කරු ජනතා ප්‍රසාදය එක්සත් ජාතික පක්ෂය අභිබවා සමඟි ජන බලවේගය දිනාගෙන ඇති අතර වඩිවේල් සුරේෂ් මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ පළමුවැනි තැනට තේරී පත් විය.

එහෙත් තවදුරටත් එම වෘත්තීය සමිතියේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගැටුම සමථයකට පත්ව නැති අතර වෘත්තීය සමිතිය තමන් සතු කර ගැනීමට දෙපාර්ශවයම සටනක නිරතව සිටින බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 August 2020 20:15