April 30, 2024

ඡන්දෙන් පස්සේ දුමින්ද සිල්වා නිදහස් - හිරුණිකාගෙන් අනාවැකියක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අගෝස්තු 05 වනදායි පසු නිදහස් කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවත් ඒ සඳහා දැනටමත් ලිපි ලේඛන සකස් කර ඇති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. 

හැකිනම් මෙය අසත්‍යයැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස ඒ මහත්මිය ජනාධිපතිවරයාට අභියෝග කරමින් ප්‍රකාශ කළාය. 

"මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ සියලුම වරදකරුවන් එල්ලුම් ගහට නියම වීමට හැකිවුණේ මේ ශානි අබේසේකර කියන නිලධාරියාගේ ඉතාමත දක්ෂ පරීක්ෂණ කටයුතු නිසා. ඔහු අත් අඩංගුවට ගෙන තියෙන සිද්ධිය පසුපස විශාල කතාවක් තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා මගෙ පියාගේ ඝාතනයට සම්බන්ධ දුමින්ද සිල්වාගේ පවුලේ අයට පොරොන්දු වී ඇති ආකාරයට අගෝස්තු 05 වෙනිදායින් පස්සෙ ඔවුන් ආණ්ඩු හැදුවත් නැතත් ජනාධිපතිවරයාට තියෙන බලය අනුව එතුමා 100%ක් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙනවා. එතුමා මේ වෙනකොට ඒ සියලු ලිපිලේඛන සකස් කරලා අවසන් නැත්නම් එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න මං මේ කියන්නෙ බොරුයි කියලා.  සමීප සම්බන්ධයක් මේ දෙදෙනා අතරේ තියෙනවා. ඒ නිසාම තමයි ඔහුගේ සහෝදරයාට අයත් නාලිකාව පහුගිය ජනාධිපතිවරණ කාලේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා පුදුමාකාර කැපවීමක් කළේ. මේ කැපවීමට මොනවා වුණත් ගෝඨාභය මහත්තයාට ජනාධිපති ධුරයට ගියාට පස්සේ එතැනින් එහාට යන්න තැනක් නැති නිසා එතුමා මේ පියවර ගන්නෙ නෑ කියලා ඔවුන් හිටියේ මේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙනකල්. අනිවාර්යයෙන්ම දුමින්ද සිල්වාව නිදහස් කරනවා."

"මට ඒ පිළිබඳව කිසිම තරහක් නෑ, ඒක මුලින්ම කියන්න ඕනෙ මේක මගෙ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි තවදුරටත්. ඒ පුද්ගලයාට මරණ දඬුවම නියම වෙච්චි වෙලාවෙ මටත් ඇස් දෙකට කඳුළු ආවා, ඒ වෙන මොකවත් නෙවෙයි අපි අවුරුදු 5ක් තිස්සෙ විඳපු වේදනාව මම ඒ පුද්ගලයාගෙ අම්මා තාත්තාගෙ ඇස්වලින් දැකපු නිසා.ඡන්දය දීපු ලක්ෂ 69ක් ජනතාවගේ බලාපොරොත්තුව මෙය නම් ඔබතුමාට කරන්න පුළුවන් මේක. හැබැයි මම හිතන්නෙ නෑ, ඒ උදවියට අවශ්‍ය වුණේ විනය ගරුක රටක්. මං එතුමාට කියනවා මේ කරන්න යන දේ හරිද කියලා රටේ ජනතාවගෙන් අහලා බලන්න. ඔබතුමන්ලා මේ කරන්න යන්නෙ රටේ නීතිය පාගලා බල්ලාට දාන එක. ශානි අබේසේකර අත් අඩංගුවට ගැනීමත් එක්ක මේ විදියටම මේ ආණ්ඩුවට සම්බන්ධ තවත් මරණ දඬුවම නියම වෙච්ච කීපදෙනෙකුටම ජනාධිපති සමාව ලැබෙයි කියන එකත් අපි විශ්වාසයෙන් යුතුව කියනවා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 August 2020 23:32