May 03, 2024

පැනමා පත්‍රිකා ගැන ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

පැනමා පති‍්‍රකා මගින් හෙළිදරව් කළ පමණින් ඒවා නීති විරෝධි නොවන බවත් මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව සිදු කරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ ඊයේ (11) රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැන්වූ අමාත්‍යවරයා,

“පැනමා පති‍්‍රකා ගැන කියනවා නම්, අදාල සමාගම බොහෝ දුරට කරලා තිබෙන්නේ නීති විරෝධී ලෙස හෝ වෙනත් ආකාරයකට විදේශ ගතව මුදල් තැන්පත් කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමයි. ඒ සම්බන්ධයෙන් වෙච්ච ලේඛන එක්කෝටි විසිලක්‍ෂයක් දැන් අන්තර් ජාලයට නිකුත් කරලා තියෙනවා. ඒවයින් ලංකාවට අදාල දේවලූත් තියෙනවා. මෙතන තියන ප‍්‍රශ්නය මේක මාධ්‍ය ආයතනයකින් තමයි ප‍්‍රකාශයට පත් කරලා තියෙන්නේ. දැන් තමයි මේක හැමෝම අතට ආවේ. ඒ පෙරේදා ඉඳන්. එතෙක් කල් මේක තිබුණේ අර පර්යේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර් ජාතික සංසදය යටතේ. 

එම සංසදය මගින් 2013 දීත් මෙවැනි ලැයිස්තුවක් දැම්මා. හැබැයි ඒ දැම්මෙ සිංගප්පූරුවේ තිබෙන විදේශ වත්කම් සහ සමාගම් පිළිබඳ විස්තරයක්. දැන් මේක වෙලා තියෙන්නේ, ජනමාධ්‍ය වාර්තා කරන්නේ මේවා ඔක්කොම පැනමා පේපර්ස් කියලා. දැන් අදත් මාධ්‍ය ඔක්කොම වාර්තා කරලා තිබුණා 65 දෙනෙකුගේ නම් හෙළි කරලා කියලා.  ඇත්තටම ඒ පැනමා පේපර්ස් වලට අදාල 22 යි. ඉතුරු අය 2013 හෙලි දරව් කරපු විදේශ සමාගම් පිළිබඳ දේවල්. සමහර විට ඒ විදේශ සමාගම් මොසැක් පොන්සේකාගෙන් උපදෙස් ගත්තද දන්නෙ නැහැ ඒ සමාගම් පිහිටුවන්න. කොහොමත් ඒක උපදේශන නීති සමාගමක්. එතකොට මේ සම්බන්ධයෙන් රජය, තව ඉදිරියට නම් එනවා. මේ තාම සුළු පිරිසයි මේකේ ආවේ. තව ඉදිරියට තව නම් එන්න  ඕනා.  තවත් එන්ක්‍රෙප්ෂන් ප‍්‍රශ්නයක්  මත මේක ලෙහාගන්න බැරිවෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මෙහේ ඉන්න  ඒ විමර්ශනාත්මක ගවේෂණශීලි මාධ්‍යවේදීන් විසින් ඒවා අනාගතයේ හෙළිකරයි. ඒක ඉතාම හොඳයි. හැබැයි මේවා නිවැරදිව වාර්තා කරන එකත් හරි අවශ්‍යයි. මොකද මේ ගැන බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ටත් චෝදනාවක් එල්ල උනා. එහිදි ඔහු ප‍්‍රකාශ කලේ මම නීත්‍යානුකූලව මගේ පියා සමාගමක් පිහිටුවලා ව්‍යාපාරයක් කළා. ඒක මම අග‍්‍රාමාත්‍යධූරයට පත් වෙන කොට එම ව්‍යාපාරය විකුණලා මුදල් කළා. ඔහු බදු ගෙවීම පිළිබඳව පොඩි අඩුපාඩුවක් කරලා තියෙනවා. ඔහු ඒක පිළිගත්තා. එතකොට ඒ වගේ නීත්‍යානුකූල ව්‍යාපාරත් හොර ව්‍යාපාර හැටියට හඳුන්වලා යම් මඩ ගැසීමක නියැලෙන ස්වරූපයක් තියෙනවා. 

උදාහරණයක් ලෙස මගේ උපදේශකයෙක් හැටියට ඉන්න විද්‍යා අමරපාල මහත්මයා  මේ පැනමා සිද්ධියට සම්බන්ධයි කියලා යම් යම් අය ප‍්‍රකාශ කරලා තියෙනවා. විද්‍යා අමරපාල මහත්මයා අවුරුදු 30 ක් වැඩ කලේ අයි.ඩබ්. හෝල්ඩිංග් කියන සමාගමේ ප‍්‍රධාන විධායකයා හැටියට. එතකොට ප‍්‍රධාන විධායකයා හැටියට ඔහු වැඩකරන කාලේ ඒ සමාගමත් සිංගප්පූරුවේ කැපිටල් කෝපරේෂන් කියන සමාගමත් ඇතිවෙච්ච අනුබද්ධ සංවිධානයක් මගින් ලංකාවට BOI එක මගින් ආයෝජන ගෙන එන්න හදපු කොම්පැනියක්. ඉතින් ඒ කම්පැනියට ඔහුව නම් කලා අයි. ඩබ්. හෝල්ඩිංග් එකෙන්. ඒක තමයි මේ පෙන්නන්නේ. ඔහු ඒකෙන් 2010 ජනවාරි මාසේ 11 වෙනිදා අස්වුණා. අස්වෙලා තමයි ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති උනේ. ඉතින් ඔහුගේ නමත් පළවෙලා තියෙනවා. ජගත් සුමතිපාල මහත්මයාගේ නමත් පලවෙලා තියෙනවා.  මේ වගේ අපේ ව්‍යාපාරිකයෝ ගණනාවක් දැන් ඕවගේම ස්විස් එකවුන්ට් සම්බන්ධයෙනුත් පළවෙලා තිබුණා. ව්‍යාපාරිකයෝ විදේශවල ගණු දෙනු කරනවා. ඒවා ලංකාවට පෙන්වලා දීලා තියෙනවා නම් අපිට මෙහෙම ආයතන තියෙනවා අපි මෙහෙම ගණුදෙනු කරනවා කියලා තියෙනවා නම් ඒවා කිසිසේත් නීති විරෝධී ගණුදෙනු වෙන්නේ නැහැ. විදේශවල එකවුන්ට් තිබූ පමණින් ඒවා විදේශ ගණුදෙනු වෙන්නේ නැහැ. 

දැන් එහෙමනම් ඔය වීරයෝ වගේ කතා කරන දේශපාලන පක්ෂවල එකවුන්ට් තියෙනවා ඉතාලියේ. එකවුන්ට් තියෙනවා ලංඩනයේ ඒවා නීති විරෝධි වෙන්නේ නැහැ ඒවා අපි ප‍්‍රකාශයට පත් කරලා තියනවා නම් අපිට එහෙම තියනවා කියලා. මේක පටලවා ගන්න එපා පැනමා පති‍්‍රකා මගින් හෙළිදරව් කළ පමණින් ඒවා නීති විරෝධි වෙන්නේ නැහැ හෝ විදේශවල වත්කමක්, ගිණුමක් තිබූ පමනින් ඒවා නීති විරෝධී වෙන්නේ නැහැ විධිමත් පරීක්‍ෂණයකින් තොරව. ඉතින් අපි මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව කරනවා. මොකද මේක ඉතාම වැදගත් මේක මේ රටෙන් කවුරු මොනවා කිව්වත් රාජපක්ෂ ජුන්ටාව කාලේ ඩොලර් බිලියන 20ක් විදේශවලට ගිහින් තියෙනවා. එතකොට ඒ ගිහින් තියෙන සල්ලි ගෙනිච්චේ කවුද කියන එක පිළිබඳව අනිවාර්යෙන්ම අපි ගැඹුරු සොයා ගැනීමක් කළ යුතුයි. වැරදි නිවැරදි කරුවන් කරන්න කලින් අපි මේ පරීක්‍ෂණය කළ යුතුයි. කලින්ම මොවුන් හොරු හැටියට නම් කරන එක වැරදියි. ඒ පරීක්‍ෂණ කරලා විධිමත් පරීක්‍ෂණයකින් ඒක එළිවෙයි. ඔය දැන් එළිවෙලා තියෙන පැනමා පති‍්‍රකාවේ නම් 22ත් එක්ක. ඒ වගේම කලින් හෙළිදරව් වෙච්ච ස්විස්  එකවුන්ට් වගේම සිංගප්පූරු ගිණුම් පිළිබඳවත් ඇත්ත තත්වය. 

දැන් ඇත්තටම අපේ රටේ නීතියේ ස්වරූපය අනුව සහ මේ වංචා දූෂණ කරලා තියෙන සූක්‍ෂම ආකාරය නිසා ඇතැම් කාරණා පිළිබඳව ප‍්‍රශ්න තියෙනවා ඒවා නිතීය ඉදිරියේ ඔප්පු කරන්න තියෙන අපහසුතාවයන්. කෙසේ වෙතත් අපිට විවිධ සිවිල් සංවිධාන වලින් චෝදනා 1700 ක් පමණ ආවා. ඒ 1700 තියෙන සමහර චෝදනා සඳහා නිලධාරින්ට අවශ්‍ය ධාරිතාවය, පරීක්‍ෂණ කිරීමට තියෙන නොහැකියාව තියෙනවා. ඒක වැඩිදියුණු කරන්නට රජය කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි අලූතින් හදපු ආයතනවලට නීතිමය ශක්තියක් නොමැතිවීම පිළිබඳ කාරණය නිසා අපි  ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නව නීති ගෙන එන්න. මොකද දැනට අපි ස්වාධීන කොමිසමක් පිහිටෙව්වා දූෂණ වංචා පිළිබඳව කටයුතු කරන්න ස්වාධීනව. ඒ යටතේ අපි බලාපොරොත්තු වෙනවා නව පනතක් මගින් මේක ගේන්න ඒකට අපි කටයුතු කරනවා. එය කලේ මේ දූෂණ කි‍්‍රයාවලිවල අපි කවුරුත් දන්නවා, රාජපක්‍ෂවරු කියන්නේ හුදු රාජපක්ෂවරු නෙමෙයි. ඒ පවුල් ජුන්ටාව විතරක් නෙමෙයි. මේකට විශාල වශයෙන් නිලධාරීන්, ඒ වගේම පහල මට්ටමේ දේශපාලකයින්  ඇතැම් මාධ්‍ය ආයතන මේ වගේ සම්බන්ධ වෙච්ච ජාලයකින් තමයි මේ කි‍්‍රයාවලිය කරගෙන ගියේ. ඒකයි ඒකට රෙජීමය කියලා සමහරු හැඳින්වූයේ. ඉතින් ඒ නිසා පුටුව මාරු උනාට අර රෙජීමය මාරු උනේ නැහැ. ඒක නිසා ඒවා යට ගහන්න, ඒවා කි‍්‍රයාත්මක නොකරන්න විශාල කි‍්‍රයාවලියක් දියත් උනා. එනිසා අපි අඛණ්ඩ අරගලයක් ගෙනයනවා. ඒක මේ රාජපක්ෂට එරෙහිව තියෙන වෛරී අරගලයක් නෙමෙයි. අනාගතයේ මෙවැනි සිදුවීම් ඇතිවීම වැලැක්වීම සඳහා සහ දූෂකයන් රකින්න කවුරු හරි උත්සාහ කරනවා නම්, අපේ ආණ්ඩුවේම අය එහෙම නැත්නම් නිලධාරී තන්ත‍්‍රයේ අය, එහෙමත් නැත්නම් දූෂණය දූෂණයක් කර ගන්න හදනවා නම් මේ දුෂණය සොයන වැඩපිළිවෙලම දූෂණයක් කර ගන්න හදනවා නම් කවරු හරි සහ දූෂණයේ නියැලෙන්න කවුරු හරි මේක තුළින් උත්සා කරනවා නම් ඔය බැදුම්කර වංචා හෝ වෙනත් ආකරයකින්  අපි ඒ පිළිබඳව ඍජුව ඉදිරියේ ඒ පිළිබඳව කි‍්‍රයා කරනවා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. 

 

Rate this item
(1 Vote)