May 08, 2024

තාජුඩීන් ඝාතනය හැංගූ අණ රජයේ ඉහලම පුටුවකින් ආ බව හෙළි වෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ අපරාධය වසන්කර ඔහු අනතුරකින් මියගිය බවට පෙන්වා සත්‍ය වසන්කර පරීක්ෂණ අවසන් කිරීමට ක්‍රියා කළ සියලුම පොලිස් නිලධාරීන් රහස් පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ආකාරයෙන් ඔවුන්ට එම පරීක්ෂණ අවසන් කිරීමට රජයේ ඉහළම පුද්ගලයකුගෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට ලැබුණු උපදෙස් හා බලපෑම් මෙසේ ක්‍රියාත්මක කර ඇති බවට ද එම තොරතුරු තවදුරටත් හෙළි කරයි.

තාජුඩීන් මහතා  ඝාතනය කළ දිනට පසු කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ එම පරීක්ෂණවලට සම්බන්ධ වූ නිලධාරීන් කැඳවා රහසිගත සාකච්ඡාවක් ද පවත්වා තිබෙන බව ද අනාවරණය වී ඇත.

එම සාකච්ඡාව වන අවස්ථාවේ වසීම් තාජුඩීන්ගේ පියා එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පොලිස් නිලධාරියකු විසින් කැඳවාගෙන විත් ඇති අතර එසේ කැඳවාගෙන ගොස් පැය එකහමාරක් පමණ අදාළ පොලිස් සාකච්ඡාව අවසන් වන තෙක් එම කාර්යාලයේ රඳවාගෙන සිට ඇති බව පැවසේ.

අනතුරුව එම සාකච්ඡාව මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු තාජුඩීන්ගේ පියා වෙත පැමිණ තාජුඩීන් අනතුරකින් මිය ගිය බවට පොලිසිය තීරණය කර ඇති බව දැනුම් දී ඇත.

පොලිසිය මේ ආකාරයෙන් අවසන් තීරණයකට පැමිණ සිටි නිසා තාජුඩීන්ගේ පියාට ඔහුගේ පුතාගේ මරණය සැක සහිත වූවත් ඒ පිළිබඳ යළි පැමිණිලි කිරීමට නොහැකි තත්වයක් ඇතිවී තිබු බව ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මෙම අපරාධ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණවලට සම්බන්ද වූ සියලුම පොලිස් නිලධාරීන් එම පරීක්ෂණවලදී පරීක්ෂණ වෙනස් කිරීමට ඔවුන්ට බලපෑම් එල්ල කළේ කවුද යන්න සම්බන්ධව සියලු තොරතුරු හෙළි කිරීමට සූදානමින් සිටින බව වාර්තා වන අතර මෙම සිද්ධියට සම්බන්ධ පොලිසියේ පස් දෙනකු ඉදිරි දින කිහිපය තුළ රහස් පොලිසිය වෙත කැඳවීමට නියමිතය.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 26 April 2016 07:15