May 07, 2024

පැනමා හෙළිදරව්ව තුළ ලාංකිකයින් 22ක්

පැනමාරිවීව් හෙළිදරව්ව මගින් ලංකාවේ සමාගම් 03ක් සහ කොටස්කරුවන් 22 දෙනෙකු සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ චෝදනා අනාවරණය වී ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ‘පැනමා පේපර්ස්’ නමින් එළිදැක්වුණු පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ වසර 40ක ගණුදෙනු පිලිබඳ දත්ත ඇතුළත් ලිපිගොණු වලින් මෙම දූෂණයන් අනාවරණය වූ බව ඔහු සඳහන් කරයි.

තම සංගමය  මඟින් මීට පෙර හෙළිදරව් කළ සීෂෙල්ස් සහ ඩුබායි බැංකු හරහා සංසරණය වු  මෙරට දේශපාලඥයින්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ  ගිණුම් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් මෙම පැනමා අණාවරණය මඟින් හෙලිකරගත හැකිවනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කරයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා “දූෂණ විරෝධී පෙරමුණ සවිස්තරව ඉදිරිපත් කරලා තියෙන පැමිණිලි 512 සම්බන්ධයෙන් විමර්ශන පිළිබද තවමත් ප්‍රශස්ත තත්වයක නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව තුළ විමර්ශන අවසන් වුනු ලිපිගොනු 40ක් තවමත්  තියෙනවා. මෙයින් බහුතරයක් ලිපිගොනු  සහ මෙම පැනමා ආණාවරණය අතර සෘජු සම්බන්ධයක්  තියෙන්නට පුළුවන් කියන සැකය අපිට මොනම ආකාරයකින් වත් බැහැර කරන්නට බෑ. අපිට හැකියාවක් නැත්නම් මේ මුදල් සම්බන්ධයෙන් දේශියව මේ අදාල පාර්ශව සම්බන්ධයෙන් නඩු පවරන්නට අපිට මොනම ආකාරයකින්වත් හැකියාවක් ලැබෙන්නේ නෑ ලංකාවෙන් මේ පැහැරගෙන ගියපු මංකොල්ලකාපු මේ අතිවිශාල ධනස්කන්ධය  නැවත ආපහු මේ රටට ලබාගන්න." යනුවෙන් කියාසිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ඒ සඳහා තීරණාත්මක මැදිහත් වීමක් සිදුකිරීමේ වගකීම වර්තමාන රජයට පැවරී ඇති නමුත් මේ මුදල් නැවත ලංකාවට ගේන්වා ගැනීමට විධිමත් විද්‍යාත්මක ගවේශණාත්මක නඩු පැවරීමේ කාර්යයකට ලංකාවේ රජය සහ ඒ සම්බන්ධ ආයතන අසමත් වී ඇති බවත් ය.

ගාල්ල - ලලිත් චාමින්ද

Rate this item
(3 votes)
Last modified on Wednesday, 06 April 2016 16:12