May 06, 2024

අවුරුද්දට විශේෂ සේවා බස් 6000ක්

අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා අනිද්දා (08) සිට 15 වැනිදා දක්වා විශේෂ අවුරුදු සේවා යටතේ පෞද්ගලික බස් රථ 6000ක් පමණ ධාවනයට යොදවන බව වාර්තා වේ.

පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුම් පොළ පර්යන්තයේ සිට සියලු ප්‍රදේශවලට ක්‍රියාත්මක කෙරෙන මෙම විශේෂ අවුරුදු සේවා බස් රථ අලුයම 5.00 සිට රාත්‍රී කාලය දක්වා මගී අවශ්‍යතාව අනුව ධාවනය කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී හේමචන්ද්‍ර මහතා ඊයේ (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

අතිරේකව යොදවන ලද මෙම අවුරුදු සේවා බස්රථවල ගමන් ගාස්තුව ලෙස සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් මගීන්ගෙන් අය කිරීමට බස් හිමියන්ට උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

පිටකොටුව බැස්ටියන් මාවත බස් පර්යන්තයට අමතරව කටුනායක, බියගම වෙළඳ කලාපය ආවරණය කරමින් සහ අවිස්සාවේල්ල, පිලියන්දල, මතුගම, හොරණ, පානදුර, මහරගම සිට මෙම දුරසේවා බස් රථ ක්‍රියාත්මක වන බව ද හේමචන්ද්‍ර මහතා පැවසුවේ ය.

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගාල්ල හා මාතර ගමනාන්ත කරා යෑමට මහරගම, කඩුවෙල, කඩවත හා පානදුර යන පර්යන්තවලින් බස් රථ සේවා යොදවා ඇති අතර මගී අවශ්‍යතාව මත අමතර සුඛෝපභෝගී බස් රථ 20ක් පමණ අවුරුදු සමය තුළදී ධාවනය කෙරෙන බව ද එයට අමතරව බැස්ටියන් මාවත පර්යන්තයෙන් ද දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මාතර, අකුරැස්ස, දෙණියාය, දෙයියන්දර, හක්මන හා කතරගම දක්වා බස් රථ ධාවනය වන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම අවුරුදු සේවා බස්රථ වැඩිපුර ගාස්තු අයකිරීම තහනම් වන අතර ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම, අතරමගදී නියමිත මාර්ගය හැර වෙනත් මාර්ග වල ධාවනයේ යෙදීම ආදී අක්‍රමිකතාවල නොයෙදෙන ලෙසත් මගීන්ට ආචාරශීලී වන ලෙසත් බස් රථ සේවකයින් දැනුවත් කර ඇතැයි ද සියලු පැමිණිලි 011-2595555 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් සභාපතිවරයා වැඩිදුර අදහස් දක්වමින් කියාසිටියේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 April 2016 16:41