May 02, 2024

විද්‍යාපීඨ බඳවා ගැනීම් ළඟදීම

දිවයිනේ සියලුම විද්‍යාපීඨවලට බඳවා ගැනීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට පීඨාධිපතිවරුන් විසින් අද (05) දින සිට අදාළ කැඳවීම් ලිපි යැවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම මස 20 දින සිට සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර මැයි මාසය මුල් සතිය ඇතුළත අදාළ පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

2013 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් අතරින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය අප්‍රේල් මස 01 වන සිකුරාදා දින සියලුම පීඨාධිපතිවරුන්ට ලබාදීමට විද්‍යාපීඨ කොමසාරිස්වරයා කටයුතු කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව බඳවාගැනීම් කටයුතු සිදුකිරීමට හැකි බවත් 2014 වර්ෂයේ දී අ.පො.ස. (උසස්පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුන් බඳවාගැනීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය 2016 ජූනි මස නිකුත් කරන බවත් එකී ගුරු සිසුන් සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

එසේම 2016 දෙසැම්බර් මස වන විට 2015 වර්ෂයේ දී අ.පො.ස. (උසස්පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ද ඔවුන් සැලසුම් කර තිබේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවාගන්නා ගුරු සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට ද ඔවුන් සැලසුම් කර තිබේ.

ඒ අනුව 2012 අ.පො.ස. (උසස් පෙළ) වර්ෂය වෙනුවෙන් බඳවාගත් 3,500 ක පමණ ගුරු සිසුන් ප්‍රමාණය වෙනුවට 2013 අ.පො.ස. (උසස් පෙළ)වර්ෂය වෙනුවෙන් ගුරු සිසුන් 4,700 ක් බඳවා ගැනීමට නියමිතය.

එසේම ඉදිරි වසර දෙක තුන තුළ දී  එක් අධ්‍යයන වසරක් වෙනුවෙන් බඳවාගන්නා ගුරු සිසුන් ප්‍රමාණය 6,200 දක්වා වැඩිකිරීමට අවශ්‍ය සැලසුම් සකස්වෙමින් පවතින බව ද වාර්තා වේ.

එසේම හදුනාගත් කථිකාචාර්ය තනතුරු පුරප්පාඩු 1,190 ක් සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති අතර එකී බඳවාගැනීම් කටයුතු ඉදිරියේදී  සිදුකරන අතර අවශ්‍යතා අනුව නව කථිකාචාර්යවරුන් බඳවාගැනීමට ද නියමිතය.

එසේම මෙම වර්ෂය තුළ දී සියලුම කථිකාචාර්යවරුන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කිරීම සඳහා මෙරට සහ විදේශීය ආයතනවල පුහුණුවීම් හා උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමට ද යෝජිත වී තිබේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවාගන්නා ගුරු සිසුන්ගේ හා කථිකාචාර්යවරුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් පරිදි භෞතික පහසුකම් සංවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ජාතික අධ්‍යාපන ආයතනය සඳහන් කරයි.

ඒ අනුව නේවාසිකාගාර, හෝජනාගාර, දේශන ශාලා, කථිකාචාර්ය නිල නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි නවීකරණය කිරීම්, අළුත්වැඩියාකිරීම් සහ  නව ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 750 ක ප්‍රතිපාදන වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති බවත් ඒ අනුව සියලුම විද්‍යාපීඨවල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් වාර්තා වේ. 

මීට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු උපදෙස් මත අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා උසස් වෘත්තිකභාවයකින් යුක්ත ගුරුවරුන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හා ගෝලීය වෙනස්කම් සලකා බලමින් ජාතික අධ්‍යාපන අරමුණු කරා ළගාවිය හැකි පරිදි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල ක්‍රියාත්මක වන සියලුම පාඨමාලා නවීකරණය කිරීම හා නව විෂයයන් හදුන්වාදීමට ජාතික අධ්‍යාපන ආයතනය හරහා කටයුතු සිදු වෙමින් පවතින අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)