May 02, 2024

මුළු පාර්ලිමේන්තුවම අද ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස රැස්‌වෙයි

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා වසර 44කට පසුව මුළු පාර්ලිමේන්තුවම අද (05) සවස ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස රැස්‌වීමට නියමිතය.

මෙසේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස අවසන් වරට රැස්‌වූයේ වසර හතළිස්‌ හතරකට පෙර 1972 වසරේදීය. ඒ හැත්තෑ දෙකේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සඳහාය.

පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ බවට පත් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පසුගිය පාර්ලිමේන්තු සභාවේදී දින දෙකක්‌ විවාද කර සම්මත කෙරිණි. පාර්ලිමේන්තුව අද පස්‌වරු 1.00 ට රැස්‌වූ පසු න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සහ ඊට ඇමතිවරුන්ගේ පිළිතුරු ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව කල් තබනු ලබයි. ඉන් පසුව යළි පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස මන්ත්‍රීවරු දෙසිය විසි පස්‌දෙනා රැස්‌වෙති.

මෙම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ සභාපතිධුරය සඳහා කථානායක කරු ජයසූරිය මහතා නිල බලයෙන් පත්වේ. පළමුව සිදු කරනුයේ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය සඳහා සභාවේ පක්‌ෂ විපක්‌ෂ මන්ත්‍රීවරුන් අතුරින් නියෝජ්‍ය සභාපතිවරුන් හත්දෙනකු පත්කර ගැනීමය. ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ ඉදිරි කටයුතු සඳහා උප කමිටු ස්‌ථාපිත කළ යුතු අතර එවන් උප කමිටු කොපමණ සංඛ්‍යාවක්‌ ඇති කරන්නේද යන්න මීළඟට තීරණය වනු ඇත. පසුව එම උප කමිටු සඳහා මන්ත්‍රීවරුන් එකොළොස්‌ දෙනා බැගින් තෝරා පත්කර ගනී. මෙහිදී සභාවේ සිටින සෑම මන්ත්‍රීවරයෙක්‌ම කමිටු නියෝජිතයන් බවට පත්වේ.

මෙසේ නියෝජ්‍ය සභාපතිවරුන් සහ කමිටු නියෝජිතයන් පත්කර ගැනීමෙන් පසුව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩල රැස්‌වීම ඉදිරි දිනකට කල් තබනු ලබයි. ඒ අනුව යළි දෙවන වරට රැස්‌වන ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා මහජන අදහස්‌ විමසීමේ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය රැස්‌වන කාලයේදී පාර්ලිමේන්තු රැස්‌වීමද සාමාන්‍ය පරිදි පැවැත්වේ.

 

Rate this item
(0 votes)