May 04, 2024

අධික කෝපය නිසා කතක් මියයයි 

රීප්පයකින් පහරදීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටිය දී මිය ගිය කාන්තාවකගේ මරණයට හේතුව අධික කෝපය නිසා කුඩා මොළය ඉදිමීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

මිය ගොස්  ඇත්තේ නල්ලදරන්කට්ටුව - පාන්කුලාව පදිංචිව සිටි ආර්.එම්.රම්මැණිකා නමැති 83 හැවිරිදි දරුවන් 09 දෙනෙකුගේ මවකි.

පසුගිය 29 වැනි දා නල්ලදරන්කට්ටුව - පාන්කුලාව ගම්මානයේ පිහිටි දේවාලයක් පිරිසිදු කරමින් සිටින විට අසල්වැසි කාන්තාවක් හා මිය ගොස් ඇති කාන්තාව අතර බහින් බස්වීමක් හට ගෙන ඇත. 

අනතුරු ව එම කාන්තා විසින් මිය ගොස් ඇති කාන්තාවට රීප්පයකින් පහර කීපයක් එල්ල කර තිබේ. ඒ සම්බන්ධයෙන් මිය ගොස් ඇති කාන්තාව විසින් ඉකුත් 30 වැනි දා හලාවත පොලීසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඇත.

ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර අනවශ්‍ය බවත් තමන්ට පහර දුන් කාන්තාවට අවවාද කරන ලෙස පමණක් මිය ගොස් ඇති කාන්තාව එහි දී ඉල්ලා ඇත. ඒ අනුව පොලීසිය විසින් දෙපාර්ශවයට අවවාද කර සිද්ධිය සමථයකට පත් කර ඇත.

එහෙත් ඉකුත් 01 වැනි දා හදිසියේම රෝගී වූ රන්මැණිකා නම් කාන්තාව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඇය 03 වැනි දා මිය ගොස් තිබේ. 

මේ සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් නිහාල් සුමනධීර මහතා විසින් පවත්වන ලදි. වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මිය ගොස් ඇති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජයවර්ධන මහතා විසින් පවත්වා ඇත. අධික කෝපය හේතුවෙන් කුඩා මොළය ඉදිමීම එම මරණයට හේතුව බව එහි දී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් 63 හැවිරිදි කාන්තාවක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ  හලාවත පොලීසිය විසින් සිදු කරයි.

පුත්තලම - ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)