April 28, 2024

නිදහස් පක්ෂ රැස්වීමට විරෝධය දැක් වූවන්ට ඇමතිගෙන් පිළිතුරක්

හක්මන ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය පැවැත් වෙමින් තිබිය දී 100 දෙනෙකුගෙන් පමණ යුත් සුළු පිරිසක් විරෝධය දැක් වූ බවත් බල මණ්ඩල රැස්වීම 2000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති බැවින් එම විරෝධතාවය පුස්සක් බවට පත් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වන ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා, "විරෝධතාවයට සියයක්වත් හිටියේ නැහැ. දින 03ක් තිස්සේ මේ අය මෙම විරෝධතාවයට සංවිධානය වුනා. ගෙවල්වලටත් ගිහින් එන්න කියලා තියෙනවා. දැන් මේ විරෝධතා ක්ෂයවන තත්ත්වයට පත්වෙමින් තියෙනවා එය හැරවුම් ලක්ෂයක් බවට අප පත් කළා. මිනිස්සු  එන්නේ නැහැ. ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් ඉන්නේ පක්ෂයත් සමගයි. ඒ අයට ඒ බව තේරිලා තියෙන්නේ. බල මණ්ඩල රැස්වීම සාර්ථක ලෙස පැවැත් වූ නිසා සුළු පිරිසක් විසින් කරනු ලැබු විරෝධය පුස්සක් වුනා. මේ විරෝධය අපි ගණන්ගත්තේවත් නැහැ. මෙය පිටු පස මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකු සිටිනවා.

සම්මේලනය පිළිබඳ සියලු දෙනාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා. ලියුම අරගෙන තමයි රැස්වීමට එන්න කියලා තිබුණේ.  බැජි එකක් දිලා ඒ අය රැස්වීම් ශාලාවට ඇතුළු කළා. හක්මන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පමණයි මෙම රැස්වීමට පැමිණ සිටියේ. වෙනත් ආසනවලින් කිසිවෙක් ගෙනාවේ නැහැ. එහෙම ගෙනාව කියලා කියනවානම් එය අමු බොරුවක්. හක්මන බල මණ්ඩල රැස්වීම ඉතා සාර්ථක ව පැවැත්වුවා." යනුවෙන් සඳහන් කළේ ය.

ගාල්ල - ලලිත් චාමින්ද

Rate this item
(1 Vote)