April 28, 2024

වන්දි නැත්නම් චීනය වරාය නගරයෙන් ඉඩම් ඉල්ලයි (VIDEO)

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අදාළ සමාගම ශ්‍රී ලංකා රජයෙන් රුපියල් කෝටි 1828ක වන්දියක් හෝ දැනට වෙන්කර ඇති බිම් කොටසට වඩා වැඩි ඉඩක් එම ව්‍යාපෘතිය බාර චීන සමාගම රජයෙන් ඉල්ලා තිබේ. 

එම ව්‍යාපෘතියට අවසර දීම පමාවීම හේතුවෙන් මෙම වන්දිය අදාළ සමාගම රජයෙන් ඉල්ලා තිබේ.

ව්‍යාපෘතිය මේ වනවිට බස්නාහිර පළාත් සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් චීන සමාගම ඉල්ලා ඇති වන්දි ගෙවීමට රජය සූදානම් නැතැයි බස්නාහිර පළාත් සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව වන ඉහළ පෙළේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී සිදුකිරීමටද නියමිතය.

මේ අතර වරාය නගරය ව්‍යාපෘතියට අවසරය ලබාගැනීම පමාවීම නිසාවෙන් සිදුවූ පාඩුව පියවාගැනීමට එම ව්‍යාපෘතිය භාර චීන සමාගම ඉල්ලා සිටින වන්දිය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීමට එම සමාගම හා නැවත වරක් සාකච්ඡා කිරීමට ශ්‍රීලංකා රජය සූදානමින් සිටී.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වසරක පමණ කාලයක් ප්‍රමාදවීම නිසා ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1250 ( රුපියල් කෝටි 1828.8 කට ආසන්න) වන්දියක් ලබාදෙන ලෙස හෝ දැනට වෙන්කර ඇති බිම් කොටසට වඩා වැඩි බිම් කොටසක් අත්පත් කරගැනීමට අවසරය ලබාදෙන ලෙස එම සමාගම ඉල්ලා ඇතැයි බස්නාහිර පළාත් සංවර්ධන සහ මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

වන්දිය ලබාදීම හෝ බිම් කොටසක් ලබාදීම සම්බන්ධයෙන් ලබන 06වැනිදා යෙදෙන අගමැතිවරයාගේ චීන සංචාරයේදී එරට බලධරයින් සමග සාකච්ඡා කෙරෙනු ඇති බවද රණවක මහතා පැවසී ය.

චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කම්පැනි ලිමිටඩ් (සීසීසීසී) වෙනුවෙන් ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන සීඑච්ඊසී පොර්ට් සිටි කලම්බු සමාගම නව රජය බලයට පත්ව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ගෙවුණු වසරක කාලයක් පුරාවට වරාය නගර ව්‍යාපෘතිය නවතා දමා තිබීම නිසා සිදුවූ අලාභය ආවරණය කරගැනීමට යැයි කියමින් මෙසේ වන්දි හෝ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

අගමැතිවරයා චීනය බලා පිටත්වීමට මත්තෙන් මේ සම්බන්ධයෙන් යම් එකගතාවක් ඇතිකරගැනීමට නියමිතව ඇති බවද නමුත් දීමනා ලබාදීම ඇතුළු තවත් ගැටලු රාශියක් සම්බන්ධයෙන් එකගතාවයන්ට පැමිණීමට තවත් කාලය අවැසි බවද රණවක පැවසීය. 

එකගතාවන්ට පැමිණීමෙන් පසු එම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කෙරෙනු ඇත. නව ගිවිසුමක් ඇති වන්නේ නම් එයට අත්සන් තැබෙන්නේ ඉන් පසුවය.

එකගතාවන්ට පැමණීමේදී ව්‍යාපෘතිය සඳහා වෙන්කර තිබෙන හෙක්ටයාර 263 ක බිම් කොටසට වැඩි අවධානයක් යොමුකරන බව අමාත්‍යවරයා පැවසීය. පෙර පරිදි කිසිඳු අයකරගැනීමකින් තොරව නොව වසර 99 ක බදු පදනම යටතේ මෙවර එම බිම් කොටස ලබාදීමට සාකච්ඡා කෙරෙන බවද ඔහු කීය.

පෙර වතාවේදී ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් පිළිබද වාර්තාව සකස් කර තිබුණේ හෙක්ටයාර 200 ක බිම් කොටසක් පමණක් ආවරණය වන පරිදිය.

නව ගිවිසුම යටතේ අහෝසි කිරීමට නියමිත ඉදිකිරීම් අතර කැසිනෝ සහ මෝටර් රථ ධාවන තරග සඳහා වන ධාවන පථ ආදිය තිබෙන බව අමාත්‍යවරයා පැවසී ය.

සාකච්ඡාවලදී ව්‍යාපෘතියේ මූලික අදියර වල පාරිසරික බලපෑම් පිළිබඳ වාර්තාවේ නිර්දේශයන් උල්ලංඝණය කර ඇති අවස්ථා පෙන්වා දෙන බව මෙගාපොලිස් අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ ය.

වෙරළාරක්ෂක සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය සඳහා දැන් නිකුත් කර තිබෙන අවසර පත්‍රයට නව කොන්දේසි 72 ක් එක්කර තිබෙන බවත් ව්‍යාපෘතිය භාර සමාගම එම කොන්දේසි වලට එකඟතාවය පළකර තිබෙන බවත් රූපසිංහ මහතා පැවසී ය.

ව්‍යාපෘතිය ආරම්භ කළ පසු විශේෂ රථවාහන සැළැස්මකට අනුව කොටුව ප්‍රදේශයේ වාහන ගමනාගමන කටයුතු සිදුකිරීමේ සූදානමක්ද ඇති බව ඔහු වැඩිදුරටත් කීය.

ඩොලර් කෝටි 150 ක වටිනාකමකින් යුතු වන මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට චීන ජනපති ෂී ජින්ග්පින්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබුණේ 2014 සැප්තැම්බර් මස 17 වැනිදාය. මෙරට ක්‍රියාත්මක ඉහළම වටිනාකමින් යුතුවන පෞද්ගලික ව්‍යාපෘතියද මෙයයි.

ඉඩම් අත්පත් කරගැනීම සඳහා වසර තුනක්වත් ගතවනු ඇතැයි අනුමාන කෙරෙන අතර ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ ඉන් පසුවය. ව්‍යාපෘතිය අවසානයේ රැකියා අවස්ථා 80,000 ක් පමණ උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

 

 

 

 

Rate this item
(0 votes)