May 07, 2024

මුහුදේදී ඇල්ලූ විශාලතම මත්කුඩු තොගය (PHOTOS)

ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් සමග මත්කුඩු ජාවාරම්කරුවන්ට අයත් විදේශීය යාත්‍රාවක් සමග පාකිස්තාන ජාතිකයෙක්, ඉරාන ජාතිකයන් දස දෙනෙක් දකුණු මුහුදු තීරයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඒකාබද්ධ ව සිදු කළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෑත ඉතිහාසයේ මුහුදේ දී අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය මෙය බව නාවික හමුදාව සඳහන් කරයි.

කිලෝග්‍රෑම් 100 ක ප්‍රධාන මත්ද්‍රව්‍ය තොගය වෙනම තිබී ඇති අතර තවත් ස්ථානයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑමයක්  මෙතෙක් හඳුනා නොගත් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් එහි තිබී සොයා ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලීසිය විසින් රඳවා තබා ගනිමින් එම ජාවාරමේ සෙසු හවුල්කරුවන් පිළිබඳ තොරතුරු සොයා කඩිනමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් අවශ්‍ය පරික්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 

මහා පරිමාණ වශයෙන් සිදු කෙරුණු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාවේ නියෝජිතයන් හා එක් ව පාකිස්තානය හා ඇෆ්ගනිස්තාන ජාතිකයින් විසින් පවත්වාගෙන යන එකක් බව පරික්ෂණවල දී අනාවරණය වි ඇත.

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට රැගෙන එන මෙම මත් ද්‍රව්‍ය දකුණේ ධීවර කටයුතුවල යෙදී සිටින මුවාවෙන් එයට සම්බන්ධ නියෝජිතයන් විසින් බහුදින යාත්‍රා උපයෝගී කරගෙන ශ්‍රී ලංකාව තුළට රැගෙන එන බවත් ඒවා දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට රැගෙන එන බවත් අනාවරණය වී තිබේ.

මෙය කොළඹ දී ප්‍රධාන වෙළෙඳ නියෝජිතයන් වෙත බෙදා හරින ලද අති විශාල මට්ටමින් සංවිධානය වූ කූඨ ජාවාරමක් බවටත් තොරතුරු අනාවරණය වී ඇත. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු ඔස්සේ ඉකුත් 30 වැනි දා දකුණු මුහුදේ මෙම මෙහෙයුම දියත් කර ඇත. 

ඒ සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර, ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා කීපයක් එක් ව තිබේ.

ඉතිහාසයේ මීට පෙර මුහුදේදී මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී නොමැති බව ද නාවික හමුදාව පවසයි. 

ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ගාල්ල - ලලිත් චාමින්ද 

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 April 2016 12:42