April 28, 2024

72 මහල්ලා යටකළ ලයිසන් නැති සැරයන් 

මාරවිල - කටුනේරිය ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියට අනියුක්ත ව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන් 54453 ඔස්ටින් නම් නිලධාරියෙකි.

ඉකුත් 22 වැනි දා සිදු වී ඇති එම අනතුරින් කටුනේරිය - බෑන්කඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි ඇතුළත් මුදලිගේ සේදිරිස් නමැති 72 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.

සැකකාර පොලිස් සැරයන්වරයා රාජකාරි අවසන් වී නිවස බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිට ඇත. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු පොලිස් සැරයන්වරයාගේ යතුරු පැදියේ ගැටීමෙන් එම අනතුර සිදු වී ඇත. පොලිස් සැරයන්වරයා ද එම අනතුරින් තුවාල ලබා ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

මෙම අනතුර සිදු වූයේ තමන් පැද වූ යතුරු පැදියේ පදිකයා ගැටීමෙන් බවට සැකකාර පොලිස් සැරයන්වරයා පිළිගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය කටයුතු කර ඇත. සැකකාර පොලිස් සැරයන්වරයාට යතුරුපැදි පැදවීම සඳහා රියැදුරු බලපත්‍රයක් නොමැති බව ද වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී ඇත.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මාරවිල පොලීසිය විසින් සිදු කරයි. 

පුත්තලම - ජුඩ් සමන්ත

Rate this item
(0 votes)