May 04, 2024

ජාතික අධ්‍යාපන ආයතනයේ ලොකු පුටුවට විභාග වංචා චෝදනා ලැබූ අයෙක්

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ  මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා හදිසියේම එම තනතුරින් ඉවත්කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධි පෙරමුණ කණස්සල්ල පළ කර තිබේ.

දූෂණ විරෝධී පෙරමුණේ  සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් පළකරමින් මේ බව හෙළි කළහ.

කැනඩාවේ ඔටාවා නුවර ජාතික අධ්‍යාපන සංවර්ධන ආයතනයේ ප්‍රධානියා ලෙස ඉතා ඉහළ වැටුපට සේවය නියැලී සිටි මෙම මහාචාර්ය ගුණපාල නානායක්කාර යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් කිරීමේ අරමුණෙනි.

මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර ඇත්තේ ජයන්ති ගුණසේකර මහත්මියයි.

ජයන්ති ගුණසේකර මහත්මිය ජාතික අධ්‍යාපන ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ කාලයේදී හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපතිධූරය දරන කාලයේදී නොයෙක් චෝදනාවන්ට ලක්වු අයෙකි. එවන් වෝදනාවන්ට ලක්වු අයෙක් වත්මන් ආණ්ඩුව යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කර ඇත.

මෙම නිලධාරිනිය ජාතික ආධ්‍යාපන කොමිෂන් සභාවට පත් කරන අවස්ථාව වනවිට, ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන ලද අධ්‍යාපනපති අවසාන පරීක්ෂණයේ විභාග වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබුණි. මේ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය මත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මූලික විමර්ශණයක් පවත්වා තිබුණි. එම විමර්ශනය මඟින් 2010/11 වසරවල පැවති අධ්‍යාපනපති අවසාන පරීක්ෂණයේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවි ඇති බවට අනාවරණය වී තිබුණේය. එමෙන්ම කලින් වර්ෂයක විභාගයට පෙනී සිට අසමත්වූ ගුරු අපෙක්ෂිකාවකට ප්‍රශ්න පත්‍ර කලින් ලබාදී සකස් කරන ලද පිළිතුරු පත්‍රයක් පිළිතුරු ගොනුවට ඇතුළත් කර ලකුණු ලබාදී ඇති බවද තහවුරු වූ බව දූෂණ විරෝධී පෙරමුණ පෙන්වා දෙයි.

 

Rate this item
(2 votes)