May 04, 2024

වැලිමඩ මාධ්‍යවේදීන්ගෙන් රජයට අප‍්‍රසාදය 

මාධ්‍යවේදීන් හට තීරුබදු රහිත ව යතුරුපැදි ලබා දෙන බව පැවසුව ද මේ වනවිට බැංකු පොලී ණය යටතේ යතුරු පැදි ලබා දීමට රජය කටයුතු කිරීම සම්බන්ධ ව වැලිමඩ මාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ බලධාරීන් හට සිය අප‍්‍රසාදය පල කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා රජයේ සේවකයන් හට මෙන් මාධ්‍යවේදීන් හට ද තීරුබදු රහිත ව යතුරුපැදි ලබා දීමට කටයුතු කරන බව පැවසූ අතර ඒ සඳහා සම්මුඛ පරික්ෂණ ද දින ගණනක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වූ බව ඔවුන් පෙන්වා දෙයි.

එහෙත් මේ වනවිට මාධ්‍යවේදීන් සඳහා යතුරුපැදි ලබා දීම සඳහා වර්ෂ හතරකින් ගෙවීමට රුපියල් දෙලක්ෂ පනස් දාහක බැංකු ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර එම බැංකු ණය මුදල ලබා ගැනීමට ද ඇතැම් මාධ්‍යවේදීන් හට බැංකුවල පවතින නීති රීති අනුව නොහැකි වී දැඩි අසරණ භාවයට පත් වී සිටින බව වාර්තා වේ.

පැවසූ ආකාරයට තීරු බදු රහිතව හෝ බැංකු වාරිකය වර්ෂ අටකින් ගෙවීමට හැකිවන පරිදි මාධ්‍යවේදීන් හට යතුරුපැදි ලබා දීමට රජය කටයුතු නොකලහොත් මාධ්‍යවේදීන්ගේ යතුරුපැදි ලබා ගැනීම සිහිනයක්වනු ඇතැයි වැලිමඩ මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

වැලිමඩ - පේ‍්‍රමලාල් රත්නායක

 

 

 

Rate this item
(0 votes)